hit counter

2024 දෙසැම්‍බර් මස 05 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 05, පෙ.ව. 12:06



විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීමට දිනයක් වෙන්කරවා ගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව http://www.immigration.gov.lk/ යන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකියි.

මෙම නව ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අද (04) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

එහිදී අදහස් දක්වමින් ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය කියා සිටියේ ලබන 6 වැනිදා සිට මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවයි.

විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ජනතාව අපහසුතාවට සහ අසීරුතාවට පත්වූ බව නිරීක්ෂණය වූ හෙයින් මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගත් බවද ඇය එහිදී ප්‍රකාශ කළා.

එම නව ක්‍රමවේදය හරහාද සීමා සහිත ‘ටෝක්න්’ ප්‍රමාණයක් නිකුත් කරන බවත්, එය අවසන් වූවායින් පසු ඉදිරි දිනයක් සඳහා වෙන්කරගැනීමේ කටයුතු සිදුකිරීමට හැකියාව පවතින බවත්, ආගමන විගමන පාලක ජනරාල් (වැඩබලන) ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය කියා සිටියා.

ඒ අනුව දවසේ ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට ඕනෑම පුද්ගලයෙකුට මෙම වෙබ් අඩවිය හරහා දිනයක් වෙන්කරගැනීමේ හැකියාව පවතිනු ඇති.

නොවැම්බර් මස අවසාන වනතෙක් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දින ලබා දී අවසන් බවත්, ඒ හේතුවෙන් දෙසැම්බර් මස මුල සිට ඒ සඳහා දිනයක් වෙන්කර ගත හැකි බවත් ඇය පැවසුවා.

එමෙන්ම විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට හදිසි පුද්ගලයෙකු වුවද මෙම ක්‍රමවේදය හරහා දිනයක් වෙන්කර ගත යුතු බවත්, අනතුරුව ඔහුගේ හදිසි අවශ්‍යතාව සනාථ කිරීමට හැකි ලියකියවිලි ද රැගෙන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසත් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය දැනුම් දුන්නා.

ඒ සඳහා ස්වාධීන වු කමිටුවක් ද පිහිටුවා ඇති බවයි ඇය පෙන්වා දුන්නේ.

කූඨ ලේඛන රැගෙන පැමිණෙන යම් කිසි පුද්ගලයෙකු හෝ වේවා එම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවද ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය ප්‍රකාශ කළා.

මේ වනවිට විදෙස් ගමන් බලපත්‍ර 33,000ක සංචිතයක් පවතින බවත්, ඉදිරියේදී හත්ලක්ෂ 50,000ක පමණ ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ලැබීමට නියමිත බවත් ඇය දැනුම් දුන්නා.

මේ මොහොතේ යම් සීමාවකට යටත්ව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට සිදුව ඇති බව පෙන්වා දුන් ඇය අවධාරණය කළේ ඉදිරියේදී ඉල්ලීමට සරිලන සැපයුමක් ලබාදීමට පියවර ගන්නා බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: