2026 අගෝස්‍තු 14, ප.ව. 2:02
ශ්‍රී ලංකාවේ සම්ප්‍රේෂණ ජාලය නවීකරණය කිරීම සහ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තිය එක් කරගැනීම පහසු කිරීම අරමුණු කරගත් ‘බලශක්ති පද්ධතිය සවිබලගැන්වීමේ සහ පුනර්ජනනීය බලශක්ති අවශෝෂණය කිරීමේ ව්‍යාපෘතිය’ (Power System Strengthening and Renewable Energy Integration Project – PSSREIP) ඊයේ (13) නිල වශයෙන් ආරම්භ කෙරිණ.
ඒ හෝමාගම 132/33 kV ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා වරාය හා සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් සමාරම්භය සනිටුහන් කරමිනි.
ආසියානු සංවර්ධන බැංකුවේ සහන ණය ප්‍රතිපාදන යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 328.25ක දැවැන්ත ආයෝජනයකින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය ලංකා විදුලි පුද්ගලික සමාගමත් (LECO) ලංකා විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම් වන, පූර්ණ වශයෙන් රජයට අයත් නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් (NTNSP) හා නැෂනල් සිස්ටම් ඔපරේටර් ප්‍රයිවට් ලිමිටඩ් (NSO) යන සමාගම් ද්විත්වයත් හරහා ක්‍රියාත්මක වනු ඇත.
මෙම සමාරම්භක අවස්ථාවට නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ්හි (NTNSP) සභාපති නුසිත් කුමාරතුංග මහතා, එහි ප්‍රධාන විධායක නිලධාරී එන්. එස්. වෙත්තසිංහ මහතා, එහි උපදේශක පුබුදු නිරෝෂන් මහතා ඇතුළුව බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීහු ද අනුප්‍රාප්තික සමාගම්වල සභාපතිවරු සහ සෙසු නිලධාරීහු ද ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ ද සහභාගී වූහ.
හෝමාගම නව ග්‍රිඩ් උපපොළ :
හෝමාගම, කොට්ටාව, මාලඹේ සහ හොරණ යන ප්‍රදේශවල සීඝ්‍ර සංවර්ධනය නිසා කාර්මික හා වාණිජ විදුලි ඉල්ලුම ද වේගයෙන් ඉහළ ගොස් ඇති අතර එම විදුලි ඉල්ලුම පූර්ණ වශයෙන් සපුරාලීමට හෝමාගම ඉදිවන මෙම නව ග්‍රිඩ් උපපොළ හරහා අවස්ථාව උදා වනු ඇත.
මේ වන විට මෙම ප්‍රදේශයට විදුලිය සපයන පන්නිපිටිය සහ කොස්ගම උපපොළවල්වල පවතින අධික භාරය (Over Loading) අවම කිරීමට ද මෙමගින් හැකියාව ලැබේ.
මීගමුව නව ග්‍රිඩ් උපපොළ :
එසේම මෙම ව්‍යාපෘතියේ 1B පැකේජය හරහා හෝමාගම මෙන්ම මීගමුව ප්‍රදේශයේ ද 132/33 kV නව ග්‍රිඩ් උපපොළවලක් ඉදිකිරීමට නියමිතය.
මීගමුව ප්‍රදේශය ආශ්‍රිත සංචාරක සහ කාර්මික සංවර්ධනය නිසා ඉහළ ගොස් ඇති විදුලි ඉල්ලුම සපුරාලීමට එමගින් අවස්ථාව උදා වනු ඇත. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පුළුල් කිරීමේ කටයුතු සහ යෝජිත Aero City ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය අමතර විදුලි ධාරිතාව සැපයීමට ද මෙමගින් මං පෑදෙනු ඇත.
මහජන ප්‍රතිලාභ :
මෙරට ජාතික විදුලිබල පද්ධතිය වර්ධනය කරමින් අවශ්‍ය විදුලි ධාරිතා ඉල්ලුම සපුරාලීමට මෙමගින් මං පෑදෙන අතර විදුලිබල පද්ධතියේ විශ්වාසනීයත්වය වැඩිදියුණු කරමින් සැපයුම් සුරක්ෂිතතාව සහ මෙහෙයුම් ස්ථාවරභාවය ශක්තිමත් කිරීමට හැකි වනු ඇත.
එමෙන්ම මෙය අනාගත පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා ශක්තිමත් ජාලයක් සැකසීමෙහි ඉදිරිගාමී පියවරක් ද වනු ඇත.
ඊට අමතරව වෝල්ටීයතාව සම්බන්ධ ගැටලු අවම කරමින් කාර්මික, වාණිජ, සංචාරක අවශ්‍යතා පාදක කරගත් යටිතල පහසුකම් සංවර්ධනයට ද අවකාශ සලසනු ඇත.
අනාගත සැලසුම් :
ඊයේ සමාරම්භය සනිටුහන් කළ හෝමාගම ග්‍රිඩ් උපපොළ සහ මීගමුව ග්‍රිඩ් උපපොළ ඉදිරි වසර දෙක තුළ ඉදිකර අවසන් කිරීමට නියමිත අතර නැෂනල් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් සර්විසස් ප්‍රොවයිඩර් ප්‍රයිවට් ලිමිටඩ් (NTNSP) විසින් තවත් ග්‍රිඩ් උපපොළවල් සහ සම්ප්‍රේෂණ රැහැන් පද්ධති රැසක් ඉදිකිරීමට සහ සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව මීරිගම 220/33 kV ග්‍රිඩ් උපපොළක් සහ පෑලියගොඩ 132/33 kV ග්‍රිඩ් උපපොළක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.
කිලෝමීටර 78 ක දිගකින් යුතුව හම්බන්තොට සිට මාතර දක්වා 132 kV ද්විත්ව පරිපථ සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියක් ඉදිකෙරෙන අතර අනෙකුත් උපපොළවල් සඳහා LILO (Line-In Line-Out) සම්බන්ධතා සහිතව 132 kV ග්‍රිඩ් උපපොළ සහ 220 kV සම්ප්‍රේෂණ රැහැන් කොටස් සංවර්ධනය කිරීමට ද නියමිතය.
කැලණිය – කොටුගොඩ සම්ප්‍රේෂණ රැහැනේ සිට පෑලියගොඩ ග්‍රිඩ් උපපොළ දක්වා LILO සම්බන්ධතාවයක් සපයමින්, කිලෝමීටර 02ක පමණ දිගකින් යුතු 132 kV තනි-පරිපථ භූගත සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියක් ද ස්ථාපනය කෙරෙනු ඇත.
එසේම පසුගිය සතියේදී කෙරවලපිටිය සිට කොළඹ වරාය දක්වා දිවෙන 220 kV භූගත විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ ද ඉදිකිරීම් ආරම්භ විය.
මේ සියල්ල ඔස්සේ විශ්වාසනීය විදුලි පද්ධතියක් සහ ස්ථාවර බලශක්ති අනාගතයක් කරා යන ගමන තව තවත් ශක්තිමත් වනු ඇත.
2026 අගෝස්‍තු 14, ප.ව. 1:10
2026 අගෝස්‍තු 14, ප.ව. 12:58
2026 අගෝස්‍තු 14, පෙ.ව. 7:04
2026 අගෝස්‍තු 14, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 14, පෙ.ව. 12:16