hit counter

2026 ජූලි මස 05 වන ඉරිදා

2026 ජූලි 06, පෙ.ව. 12:12



මෙරට ආර්ථිකය දැනට නැගිටිමින් පවතින නමුත් එය ප්‍රමාණවත් නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ,  ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ඔවුන්ගේ හත්වැනි කාර්තු සමාලෝචන වැඩපොළ සඳහා මෙරටට පැමිණ සිටි බවත් එහිදී මෙරට නියෝජිතයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා ඔවුන් මෙම අදහස පළ කර ඇති බවයි.

මෙලෙස ආර්ථිකය ස්ථාවර වන බව පැවසුවද  එහි සැබෑ වරප්‍රසාද සහ වාසි රටට හා පොදු ජනතාවට ලැබෙන්නේ කෙසේද යන්න පිළිබඳව සොයා බැලීම අත්‍යවශ්‍ය  බව රවී කරුණානායක මහතා පෙන්වාදෙනවා.

මහ බැංකුව විසින් උද්ධමනය 106.8%ක් ලෙස වාර්තා කර තිබුණද  පසුගිය කාර්තු හත පුරාම ඔවුන්ට තමන්ගේ ඉලක්ක නිසි පරිදි ඉටු කරගැනීමට නොහැකි වී ඇතැයි මන්ත්‍රීවරයා පවසනවා.

ඔහු පවසන්නේ, වර්තමානයේ උද්ධමනය 6,8%ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ රට තුළ භාණ්ඩ හා සේවාවල ඉල්ලුම වැඩි වීම නිසා නොව, පිටරටින් භාණ්ඩ ආනයනය කිරීම නිසා ඇති වූ කෘතිම ආනයනික උද්ධමනයක් හේතුවෙන් බවයි.

මෙම කෘතිම උද්ධමනය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉඟියකට අනුව මහ බැංකුව විසින් ඉදිරි සති කිහිපය තුළ පොලි අනුපාත නැවත ඉහළ දැමීමට ඉඩ ඇති බවට රවි කරුණානායක මහතා පවසනවා.

දැනට 7.5% පවතින ප්‍රතිපත්ති පොලිය, පදනම් ඒකක සියයකින් ඉහළ දමා 8.75%ක් කිරීමට ඉඩ ඇති බවත්, එමඟින් සිදුවන්නේ රටේ ආර්ථිකය තවදුරටත් සංකෝචනය වී අයවැය පිරිවැය ඉහළ යාම පමණක් බවත් ‍රවී කරුණානායක මහතා පෙන්වාදෙනවා.

රජයේ ව්‍යවසායන් වාණිජ්‍යමය තත්ත්වයට පත් කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි යටතේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ලංකා ඛනිජ තෙල් නීති සංස්ථාව සහ ලංකා විදුලිබල මණ්ඩලය වැනි ආයතන කොටස් කිහිපයකට වෙන් කළද ඉන් මෙතෙක් නිසි ප්‍රතිඵල ලැබී නැති බව පැවසූ මන්ත්‍රීවරයා, ඔවුන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වැනි ආයතන දෙසද අවධානයෙන් සිටින බවත්, මූල්‍ය අරමුදලේ ඉදිරි වාරික ලබා ගැනීමට පෙර රජය මෙම අඩුපාඩු කඩිනමින් නිවැරදි කළ යුතු බවට දැනුම් දී ඇති බවත් සඳහන් කළා.

එමෙන්ම ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 5000 සීමාවට පැමිණීමත් සමඟ රට ඉහළ මධ්‍යම ආදායම් ලබන මට්ටමට පැමිණ ඇතැයි පැවසුවද, ඉන් සිදුවන්නේ පෙර පැවති 2% සහනදායී ණය වෙනුවට 7%ක් ,5%ක්  වැනි ඉහළ පොලී යටතේ ණය ගැනීමට සිදුවීම පමණක් බව රවි කරුණානායක මහතා පෙන්වාදෙනවා.

පසුගියදා ඩොලරයේ අගය රුපියල් 293 දක්වා ශක්තිමත් වීම නිසා මෙම තත්ත්වය පෙන්නුම් කළද, වර්තමානයේ ඩොලරය නැවතත් රුපියල් 341ක් දක්වා ඉහළ යාම නිසා ඒක පුද්ගල ආදායම් ඉලක්කය නැවතත් ඩොලර් 4600 සිට 4700 සීමාව දක්වා පහත වැටී ඇති බැවින්  මෙම සංඛ්‍යාලේඛන සෙල්ලම්වලින් සාමාන්‍ය ජන ජීවිතයට කිසිදු සෙතක් සැලසී නොමැති බව ඔහු අවධාරණය කළා.

මීට අමතරව වංචා දූෂණ වැළැක්වීම සඳහා වන ඉලෙක්ට්‍රොනික ප්‍රසම්පාදන ක්‍රියාවලිය රජය විසින් ඉතා මන්දගාමීව සිදුකරන බවට මූල්‍ය අරමුදල විවේචනය කර ඇති බවත්, 2026 අග වන විට අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4කින් අඩු කිරීමට රජය එකඟ වී ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවා.

මෙම කප්පාදුව සිදුකරන්නේ ජනතාවගේ ආදායම් සැබවින්ම ඉහළ ගිය නිසාද නැතහොත් මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරාලීමටද යන්න රජය පැහැදිලි කළ යුතු බව රවී කරුණානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: