hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 අප්‍රේල් 24, පෙ.ව. 12:04



අඩු ආදායම්ලාභී පවුල්වල පෝෂණ තත්ත්වය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් ක්‍රියාත්මක සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනේ සිදුවූ අකටයුත්තක් පිළිබඳ වාර්තා වෙනවා.

මෙම සහල් බෙදාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක ප්‍රමාණයක් ලබාදීමේ වැඩසටහන 21 වෙනිදා ක්‍රියාත්මක කෙරිණි, ඒ දිඹුලාගල සහ වැලිකන්ද කොට්ඨාස වලදී ය.

එහිදී සහල් කිලෝ දහය බෙදාදීමේදී සහල් ලබාගන්නා සෑම පුද්ගලයෙකුගෙන්ම රුපියල් 100/=ක මුදලක් අය කර ගත් බව දිඹුලාගල මනම්පිටිය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභීහු චෝදනා කරයි.

රුපියල් සියය ලබා දීමට අපොහොසත් වූවන්ට සහල් කිලෝ දහය ලබා නොදුන් බවද ඔවුන් ප්‍රකාශ කරයි.

කෙසේවෙතත්, මාධ්‍ය විසින් මේ පිළිබඳව 207 වසම බාර සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයාගෙන් කළ විමසීමකදී සඳහන් කළේ සමෘද්ධිලාභීන් කුඩා ගම්මාන රැස්වීම්වලට සහභාගි නොවීම නිසා මාස පහක මුදල් එලෙස කුඩා ගම්මාන සමිතිය මගින් එකතු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

මේ පිළිබඳව සමෘද්ධි කුඩා ගම්මාන සමිතියේ සභාපති ජී.පි. තුෂාරි යන අයගෙන් කළ විමසීමකදී කියාසිටියේ ඉදිරියේදී පැවැත්වෙන අවුරුදු උත්සවයට සහභාගි වන ආරාධිත අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා එවැනි මුදලක් එකතු කරන බවයි.

මේ පිළිබඳ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් එස්.එම්. අල් අමින් මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ එසේ සහල් ලබාදීමේදී මුදල් එකතු කිරීම සම්පූර්ණයෙන්ම චක්‍රලේඛනයට පටහැනි බවත්, එය අනීතික කටයුත්තක් බවත් ය.

සහල් බෙදාදීමේ වැඩසටහන තුළ කිසිදු මුදලක් එකතු කිරීමට උපදෙස් ලබා දී නොමැතිබව පැවසූ ප්‍රාදේශීය ලේකම් වරයා, එලෙස මුදල් එකතු කරන්නේ නම් ඒ පිළිබඳ ලිඛිතව පැමිණිලි කළහොත් අදාල නිලධාරීන්ට විරුද්ධව පියවර ගැනීමට තමන් සූදානම් බවත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: