hit counter

2026 සැප්‍තැම්‍බර් මස 29 වන අඟහරුවාදා

2026 සැප්‍තැම්‍බර් 29, ප.ව. 5:58



පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවල මුල් රචකයන්ට හා සංගීත අධ්‍යක්ෂවරුන්ට අදාළ කර්තෘභාගය අය කිරීමේ යෝජිත බලපත්‍ර ක්‍රමය දැනට ක්‍රියාත්මක නොකරන බව ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

එහි සභාපති නිලාර් එන්. කාසිම් පැවසූයේ, ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ගැසට් පත්‍රය මුල් කර ගනිමින් අභූත චෝදනා සමාජගත කර ඇති බවයි. මෙය කිසිසේත් රජය අය කරන බද්දක් නොවන බව පැවසූ ඔහු එය නිර්මාණකරුවන් වෙනුවෙන් අය කරන කතෘභාගයක් පමණක් බවද අවධාරණය කළේය. අය කර ගන්නා අදාළ කතෘ භාගය ඒ සාමාජිකයන් වෙතටම බෙදා දීමට පියවර ගන්නා බවද මේ සම්බන්ධයෙන් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමයේ ප්‍රධාන විධායක රංග දසනායක මෙහිදී පැවසූයේ, නොවැම්බර් මාසයේදී මහා සභා රැස්වීම පැවැත්වෙන තෙක් මෙම ගැසට් පත්‍රය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

යෝජිත ගැසට් පත්‍රයේ සඳහන් ආකාරයට එවැනි පෞද්ගලික සාද, ප්‍රසංග සහ විවාහ උත්සවවලදී භාවිත කරන සංගීත නිර්මාණවලට අදාළ කර්තෘ භාගය ගෙවීම අදාළ උත්සවයේ හිමිකරුගේ වගකීමක් වන බවද රංග දසනායක මෙහිදී පෙන්වා දුන්නේය.

වෙනත් රටවලද මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක වන බවත්, උත්සවයේ හිමිකරු විසින් අදාළ බලපත්‍රය ලබා ගත යුතු බවත්, ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මෙම සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, ප්‍රවීණ ගායක රූකාන්ත ගුණතිලක සඳහන් කළේ, සිය සංගමය මේ ආකාරයෙන් සටන් කරන්නේ ගීත නිර්මාණයක මුල් අයිතිකරුවන් වන ගීත රචකයාගේ හා සංගීත අධ්‍යක්ෂවරයාගේ අයිතිය සුරැකීමට බවයි.

“කවුරුත් වැඩිපුර කතා වෙන්නේ ගායකයා ගැන පමණයි. ගීත රචකයා හෝ සංගීත අධ්‍යක්ෂවරයාගේ ගැන කතා කරන ප්‍රමාණය ඉතාම අල්පයි. නමුත් ඔවුන්ට වෙනත් කිසිම ආදායමක් තිබුණේ නැත්නම් ඔවුන්ට හිමි වෙන්නේ මේ කර්තෘභාගය පමණයි.

ගීත නිර්මාණය කරන අයටත් ආදරය කරන්න පුරුදු වෙන්න. ගීත නිර්මාණය කියන්නේ දෙවියන්ගෙන් ලැබෙන ත්‍යාගයක් වගේ දෙයක්. ඕනම ගීතයක් ගායනා කරන්නේ සංගීත ශිල්පියා වෙන්න පුළුවන්. නැත්නම් ගීත රචකයා වෙන්න පුළුවන්. ඒ නිසා ගීතයේ මුල් අයිතිකරු ඒ ගීතය හදපු කෙනා.

ඒ නිසා කාගේ හෝ ගීතයක් සංදර්ශන වේදිකාවේදි ගායනා කරනවා නම්, කිසියම් මුදලක් මේ ගීතයේ නිර්මාණකරුවන්ට ගෙවිය යුතුයි. ඕනම ගීතයකට අයිතිකරුවෙක් ඉන්නවා. ඒ නිසා ඒ ගීත ඕන කෙනෙකුට මගේ ගීත කියන්න පුළුවන් කියලා තමන් නොලියන ගී ගැන ගායකයෙකුටවත් කියන්නත් බැහැ.” යැයිද රූකාන්ත ගුණතිලක මෙහිදී වැඩිදුරටත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: