hit counter

2026 ජූලි මස 23 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 23, ප.ව. 3:32



ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉදිරිපත් කර ඇති මූල්‍ය ඉල්ලීම් සපයා දීමට රජයට හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.

යුපුන් අබේකෝන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමෙන් ඉවත් වීමට තීරණය කිරීමත් සමග මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

යුපුන් යනු සිය දක්ෂතාවලින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ගෞරවයක් අත්කර දුන් දක්ෂ ක්‍රීඩකයෙකු බවත්, පසුගිය මාස කිහිපය තුළ මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේදී මෙන්ම පාර්ලිමේන්තුවේදී ද ඔහු සමග සාකච්ඡා කිහිපයක් පැවැත්වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, යුපුන්ගේ ඉල්ලීම අමාත්‍යාංශයට ලබා දිය හැකි ප්‍රතිපත්තියට වඩා වෙනස් එකක් බවයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් කරන ලදැයි කියන ඇමෙරිකානු ඩොලර් 300,000ක වාචික පොරොන්දුව ඉටුකරන ලෙස යුපුන් ඉල්ලා සිටි නමුත් එවැනි ගෙවීමක් කිරීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවද ඔහු පැවසුවා.

‘මිෂන් ඔලිම්පික්’ (Mission Olympic) වැඩසටහන හරහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ වත්මන් දක්ෂතා සහ ශ්‍රේණිගත කිරීම් පදනම් කරගනිමින් මුදල් ආධාර ලබා දෙන බවත්, හිටපු අමාත්‍යවරයෙකු දුන් වාචික පොරොන්දුවක් මත පමණක් මුදල් ගෙවිය නොහැකි බවත් අමාත්‍යවරයා පැහැදිලි කළා.

කෙසේ වෙතත්, යුපුන් නැවතත් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට කැමති වන්නේ නම් ඔහුව පිළිගන්නා බවත්, පවතින රාමුව සහ ප්‍රතිපත්ති තුළ උපරිම සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් අමාත්‍යවරයා පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: