hit counter

2026 ජූනි මස 09 වන අඟහරුවාදා

2026 ජූනි 09, පෙ.ව. 9:36



ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බව වාර්තා වේ.

ඊයේ (08) දිනයේදී ඔහුගේ පවුලේ ඥාතීන්ට සහ නීතිඥවරයාට ඔහුව බැලීමට අවස්ථාව හිමිව ඇති අතර, එහිදී තමන් උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව සලේ මහතා ප්‍රකාශ කර ඇති බවද වාර්තා වේ.

ඔහු ඉල්ලා සිටින්නේ තමන් සම්බන්ධ විමර්ශන ක්‍රියාවලියෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඉවත් කරන ලෙසත්, තමන් රඳවා සිටින ස්ථානය වෙනස් කරන ලෙසත් බව සඳහන් වේ.

එම ඉල්ලීම් ඉටු නොවන්නේ නම් උපවාසය අඛණ්ඩව පවත්වාගෙන යන බව ඔහු පවසා ඇති බවද වාර්තා කර ඇත.

මේ අතර, සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘර අයුරින් සැලකීමට විරෝධය පළ කරමින් විපක්ෂ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට තවදුරටත් පැවැත්වෙමින් තිබේ.

ඊයේ රාත්‍රිය පුරා දේශපාලන නියෝජිතයින් ඇතුළු පිරිසක් එම සත්‍යග්‍රහයට එක්ව සිටි බව වාර්තා වේ.

සත්‍යග්‍රහයට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර ඇත්තේ, කිසිදු බාධාවක් එල්ල වුවද මෙම විරෝධතාව නවතා නොදමන බවය. සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කර ඇත්තේ සලේ මහතා නිදහස් කරන තුරු මෙම සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වන බවත්, මෙය රණවිරුවන්ට සිදුකරන අසාධාරණයක් බවත්ය.

කෙසේ වෙතත්, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසන්නේ අදාළ කරුණ මේ වන විට අධිකරණ ක්‍රියාවලියට යටත්ව පවතින බැවින් ඒ පිළිබඳව කිසිවෙකු අනවශ්‍ය ලෙස කලබල විය යුතු නොවන බවය. එමඟින් නීතිමය ක්‍රමවේදය අනුව සාධාරණ විසඳුමක් ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: