hit counter

2026 ජූනි මස 06 වන සෙනසුරාදා

2026 ජූනි 06, ප.ව. 7:09



හිටපු බුද්ධි ප්‍රධානි සුරේෂ් සලේ මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සඳහන් කරයි.

සුරේෂ් සලේ මානසික කඩා වැටීමකට ලක්ව සිටින බවත් ඔහු මරණය ඉලක්ක කරගනිමින් ජලය සහ ඖෂධ ලබා ගැනීම පවා ප්‍රතික්ෂේප කර ඇති බවද උදය ගම්මන්පිල සඳහන් කරයි.

උදය ගම්මන්පිල තවදුරටත් සඳහන් කළේ,

“සුරේෂ් සලේ මහතා බලන්න ඔහුගේ සහෝදරයාත් පුතත් රහස් පොලීසියට ගියා. ඒ අවස්ථාවේ ඔහු දැඩි කඩා වැටීමකට ලක්වෙලායි හිටියේ. ඊයේ රාත්‍රියේ ඔහුට රාත්‍රී කෑමට ලබාදීලා තියෙන්නේ බත් හැන්දක් රාබු හොදි සමඟ පමණයි.

මේ බත් හැන්දක් දීලා තියෙන්නේ පත්තර කොළයක් බිම එලලා ඒකට තමයි බත් හැන්දයි රාබු හෝදියි බෙදලා තියෙන්නේ. පත්තර කොළේ, කෑමවලින් පෙඟිලා, ඔහු කෑම එක තමන්ගේ අතට ගන්න යද්දී, පත්තර කොළේ ඉරිලා කෑමටික බිමට වැටිලා තියෙනවා.

එතකොට ඔහුට කන්ඩ වෙන්නේ බිම තියෙන කෑම. මෙයින් මානසිකව කඩා වැටුණු ඔහු රාත්‍රී ආහාරය ගැනීම ප්‍රතික්ෂේප කරලා විතරක් නෙවෙයි.

කරනු ලබන මේ අමානුෂික වද හිංසා සහ අමානුෂික පහත් සැලකීමට විරෝධය පළ කරන්න ඊයේ රාත්‍රියේ සිට මරණය දක්වා මාරාන්තික උපවාසයක් කිරීමට එතුමා තීරණය කරලා තිබෙනවා.

එතුමා තමන්ගේ පුතා සමඟ හඬා වැටෙමින් ප්‍රකාශ කරලා තියෙනවා මට පොලීසිය සලකන්නේ බල්ලෙකුටත් වඩා අන්ත විදිහට මට මෙහෙම කරන්න, මං කරපු වරද මොකක්ද කියලා. එතුමා මේ මාරාන්තික උපවාසයේදී ආහාර ගැනීම පමණක් නොව මරණයම ඉලක්ක කරමින් ජලය සහ ඖෂධ ලබා ගැනීමත් ප්‍රතික්ෂේප කරලා තිබෙනවා.

ඇත්තෙන්ම ඔහු තමන්ගේ පුතා සමඟ ප්‍රකාශ කරලා තියෙනවා මෙවැනි අමානුෂික වදහිංසාවලට ලක් වෙමින් බොරු චෝදනා වලට ලක් වෙමින් ජීවත් වෙනවාට වඩා මට මැරෙන එක සැපයි කියලා.”

අද (06) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උදය ගම්මන්පිල මේ බව සඳහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: