hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 16, ප.ව. 2:47



නිර්වින්දනයට ලක් නොකර රෝගියා අවදියෙන් සිටියදීම රෝගියාගේ මොළයේ ඇති ගෙඩියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් පසුගියදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය අංශය මගින් සාර්ථකව සිදුකර තිබෙනවා.

මෙවැනි ශල්‍යකර්මයක් ලංකාවේ රාජයේ රෝහලක සිදුකළේ පළමුවරට බවයි වාර්තා වන්නේ.

මෙලෙස ශල්‍යකර්මයට භාජනය වූයේ අනුරාධපුර නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි වෘත්තියෙන් ප්‍රතිමා නිර්මාණ ශිල්පියෙක්.

ඔහුගේ වම් මොළයේ ඉදිරිපස, ශරීරයේ දකුණු අර්ධයෙහි ක්‍රියාකාරකම් පාලනය කරන ප්‍රදේශය ආසන්නයේ හටගත් ගෙඩියක් මෙලෙස ඉවත් කිරීමට වෛද්‍යවරු සමත්ව තිබුණා.

සාමාන්‍යයෙන් මෙවැනි සංකීර්ණ ශල්‍යකර්මයක් සිදුකිරීමේදී රෝගියා සම්පූර්ණයෙන්ම නිර්වින්දනයට (සිහි මුර්ජා) පත්කිරීම සිදුකරනු ලබන අතර මෙම ශල්‍යකර්මයදී රෝගියා සම්පූර්ණයෙන් නිර්වින්දනය නොකෙරුණු බවත් වේදනාවක් නොදැනෙන පරිදි අවම නිද්‍රාශීලී තත්ත්වයකින් (under minimal sedation) පවත්වා ගෙනගොස් තිබෙනවා.

මෙහි සුවිශේෂීත්වය නම් ශල්‍යකර්මය අතරතුරදී රෝගියා සමග නිරන්තරයෙන් සන්නිවේදනය කරමින්, ඔහුගේ මතකය පරීක්ෂා කිරීම, දකුණුපස අත , කකුල චලනය කිරීම වැනි ක්‍රියාකාරකම් සිදුකිරීම මගින් ඔහුගේ මොළයේ වැදගත්, සංවේදී ප්‍රදේශයන් සංරක්ෂණය කරන අතරතුරම ව්‍යාධිජනක කොටස (ගෙඩිය/tumour) ඉවත් කිරීමට හැකියාව ලැබීම බව වෛද්‍යවරු පැවසුවා.

මෙම ශල්‍යකර්මයට භාජනය වූ ප්‍රතිමා නිර්මාණ ශිල්පී සමන් ජයසිංහ මහතා ශල්‍යකර්මය අතරතුරදී නෙළුම් මලක් චිත්‍රයට නගා තිබෙන බවට වාර්තා වනවා.

ශල්‍යකර්මයෙන් පසු රෝගියා කිසිදු සංකූලතාවයකින් තොරව රෝහලින් නික්ම ගොස් තිබෙනවා.

මෙම ශල්‍යකර්මය සිදුකරන ලද්දේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය මධුශංක ගෝමස් , වෛද්‍ය රොහාන් පාරිස් සහ නිර්වින්දක විශේෂඥ වෛද්‍යවරුන් වන වෛද්‍ය ලෙවන් කාරියවසම් , වෛද්‍ය විශාඛා කර්නර් ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් මගින්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: