hit counter

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 10:27



කැස්බෑව නගර සභා කාර්යාලයට කඩා වැදී එහි ආරක්ෂක නිලධාරියකුට පහරදුන් බව කියන මන්ත්‍රීවරයකුගේ පුතෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය පවසනවා.

පහර කෑ ආරක්ෂක නිලධාරියා රෝහල්ගත වී තිබෙනවා.

කැස්බෑව නගර සභාවේම පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී වරයෙකුගේ පුතෙකු බව කියන සැකකරු එම නගර සභාවේම සෞඛ්‍ය කම්කරුවකු ලෙස සේවය කරන අයෙක් බව පොලීසිය සඳහන් කළා.

පෙරේදා (17) රාත්‍රී මත්පැන් පානය කිරීමෙන් අනතුරුව නගර සභාව වෙත පැමිණ තිබූ මෙම සැකකරු එහි සිටි ආරක්ෂක නිලධාරියාට ඉවක් බවක් නැතුව පහරදී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

එම අවස්ථාවේදී ආරක්ෂක ප්‍රධානියා ද එම ස්ථානයේ සිට ඇති අතර ඔහු මැදිහත්ව ආරක්ෂක නිලධාරියා බේරා ගෙන තිබූ බව පොලිසිය පෙන්වා දුන්නා.

ආරක්ෂක නිලධාරියාගේ හිසට සහ පපු ප්‍රදේශයට තැලුම් තුවාල සිදුවී තිබෙනවා.

පහරදීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැති අතර අධික ලෙස මත්පැන් පානය කර සිටීම ඊට හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

පහර කෑ ආරක්ෂක නිලධාරියා වැල්ලවාය පදිංචි තිස්හත් හැවිරිදි පුද්ගලයෙක්.

22 හැවිරිදි සැකකරු කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය සහකාර පොලිස් අධිකාරී සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වෙනවා.

බිමල් ශ්‍යාමන් ජයසිංහ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: