hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2026 ජූනි 02, ප.ව. 1:11



ලලිත් සහ කූගන් අතුරුදන්වීමේ සිදුවීමට අදාළ නඩු විභාගය සඳහා මාර්ගගත තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමින් සාක්ෂි ලබාදීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) අවසර ලබාදී ඇත.

මෙම නඩුව අද (02) දින යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවූ අවස්ථාවේදී යාපනය මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මෙම නඩුවේ සැකකරුවකු නොව සාක්ෂිකරුවකු පමණක් වන බවයි.

එනිසා ඔහු ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටලු සලකා බලා සෘජුවම අධිකරණයට පැමිණීම වෙනුවට මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාක්ෂි ලබාදීමට අධිකරණය මෙලෙස අවසර ලබා දුන්නේය.

ඒ අනුව එළඹෙන ජුනි මස (19) වැනිදා මෙම නඩුව අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

යාපනය, අච්චුවේලි ප්‍රදේශයේදී පසුගිය 2011 වසරේ දෙසැම්බර් මස (09) වැනිදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් අතුරුදන් විය.

එම සිදුවීම සිදුවූ වකවානුවේදී ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ කටයුතු කළ අතර එකල පැවති ආරක්ෂක තත්ත්වය සහ මෙම අතුරුදන්වීම් පිළිබඳව කරුණු විමසීම සඳහා ඔහුව සාක්ෂිකරුවෙකු ලෙස යාපනය අධිකරණයට කැඳවීමට නියෝග කර තිබුණේය.

එහෙත් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සාක්ෂි ලබා දීම තම ආරක්ෂාවට දැඩි තර්ජනයක් බව පවසමින් ගෝඨාභය රාජපක්ෂ මීට පෙර අභියාචනාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කළේය.

2019 වසරේදී ගෝඨාභය ජනාධිපතිවරයා බවට පත්වීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමිවන ජනාධිපති මුක්තිය මත ඔහුට එරෙහිව මෙම නඩු කටයුතු පවත්වාගෙන යාම තාවකාලිකව අත්හිටුවනු ලැබුවේය.

කෙසේ වෙතත් පසුගිය 2022 වසරේ ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව ඔහුට තිබූ ව්‍යවස්ථාපිත මුක්තිය අහෝසි වූ බැවින් නැවතත් මෙම නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ඔහුව කැඳවීමට නෛතික පසුබිම නිර්මාණය විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: