hit counter

2026 ජූලි මස 13 වන සඳුදා

2026 ජූලි 14, පෙ.ව. 12:14



 ඉන්දියාව සහ පකිස්ථානය වැනි රටවල් අභිබවා යමින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය හිමි රට ලෙස ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් සහතික කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

පසුගියදා පැවති ජනහමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට පැවති දැඩි ආර්ථික අර්බුදය හමුවේ භාණ්ඩාගාරය හිස්ව, රට බංකොලොත් වී තිබූ අසීරු අවධියක වත්මන් රජය රටේ වගකීම භාරගත් බවයි.

ඉන්ධන, ගෑස් සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා දිගු පෝලිම් පැවති එමෙන්ම භාණ්ඩ වර්ග 900ක ආනයනය සීමා කර තිබූ යුගයක, අනෙකුත් දේශපාලන කණ්ඩායම් වගකීම් පැහැර හරිද්දී රජය එම අභියෝගයට මුහුණ දුන් බව ඔහු සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතාවයන් පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. එම ගිවිසුම් ප්‍රකාරව 2027 වසර දක්වා බදු අඩු කිරීමට හෝ සෘජු සහනාධාර ලබා දීමට රජයට ඇති හැකියාව සීමිත වුවද, ස්වභාවික විපත් වැනි විශේෂ අවස්ථාවලදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට රජය කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

පසුගිය කාලසීමාවේ ඇති වූ ගංවතුර වැනි ස්වභාවික විපත්වලදී පීඩාවට පත් ජනතාවට සහ නිවාස හානි වූවන්ට රජය මගින් ලබා දුන් මූල්‍ය ආධාර පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී කරුණු ඉදිරිපත් කළේය.

රජය අනුගමනය කළ නිවැරදි ආර්ථික උපායමාර්ග හේතුවෙන් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මෙවැනි ජාත්‍යන්තර ඇගයීමක් දිනා ගැනීමට හැකි වූ බව ටී.බී. සරත් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: