hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 30, පෙ.ව. 10:18



රටවල් 67කට නොමිලේ වීසා ලබාදීමට අදාළ කැබිනට් පත්‍රිකාව කඩිනමින් ඉදිරිපත් කෙරෙන බව සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය ප්‍රකාශ කළා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව කියා සිටියා.

මේ වනවිට රටවල් හතකට නොමිලේ වීසා ලබාදෙන බවයි රාජ්‍ය ඇමැතිවරිය කියා සිටියේ.

අප්‍රේල් මාසයේදී පමණක් 25 වැනිදා වනවිටදී විදෙස් සංචාරකයන් 121,500 ක් මෙරටට පැමිණ ඇති බවයි අමාත්‍යවරිය කියා සිටියේ.

පළමු මාස හතර තුළදී විදෙස් සංචාරකයන් ලක්ෂ හතක් පැමිණ ඇතැයි ද ඇය සඳහන් කළා.

ඇය ප්‍රකාශ කළේ, විදෙස් සංචාරකයන් මෙරටට පැමිණ ඔවුන්ගේ යූ ටියුබ් නාළිකා ඔස්සේ ලංකාව ප්‍රවර්ධනය කිරීමේ නිරත වුවද, විදෙස් සංචාරකයන්ට මෙරටදී විවිධ හිරිහැරවලට මුහුණදීමට සිදුවී තිබෙන බවත්, විදෙස් කාන්තාවකට මහනුවර ප්‍රදේශයේදී ලිංගික හිරිහැර කිරීමේ සිද්ධියක්ද වාර්තා වන බවයි.

ඔඩිසි දුම්රියේ මහනුවර සිට ඇල්ල දක්වා ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 3000 ක් වුවත්, දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන සමහර නිලධාරීන් එම දුම්රිය ප්‍රවේශ පත්‍රය රුපියල් 8,000 ක් වැනි අධික මිල ගණන්වලට සංචාරකයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවත්, මෙම නිලධාරීන්ට එරෙහිව දැඩි දඬුවම් ලබාදිය යුතු බවත් අමාත්‍යවරිය අවධාරණය කළා.

ඉදිරියේදී තවත් සංචාරක කලාප 45 ක් ගැසට් කිරීමට කටයුතු යොදා ඇතැයිද ඇය පැවසුවා.

ඇය වැඩිදුරටත් පැවසුවේ, පින්නවල අලි සංරක්ෂණාගාරය මීට පෙරදී පාලනය වූයේ සංචාරක අමාත්‍යාංශය යටතේ වූවත්, එය අද වනවිට පාලනය වන්නේ වනජීවි අමාත්‍යාංශය යටතේ බවත්, සීගිරිය පාලනය වන්නේ සංස්කෘතික අරමුදල යටතේ බවත්, මෙම සංචාරක ස්ථාන සංචාරක අමාත්‍යාංශය යටතේ අධීක්ෂණය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි.

සීගිරියේ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ඉහළ දැමීමේදී සංස්කෘතික අරමුදල සංචාරක අමාත්‍යාංශයෙන් විමසීමක් සිදු නොකළ බවයි, ඩයනා ගමගේ සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: