hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 25, පෙ.ව. 10:33



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම්වලට ලක්ව සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පොලිස් නිලධාරීන් ඇසූ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදී නොමැති බවත්, සියලු ප්‍රශ්නවලට අධිකරණයකදී පමණක් පිළිතුරු ලබා දීමට ඔහු තීරණය කර තිබෙන බවත් නීතිඥ නුවන් බෝපගේ මහතා ඊයේ (24) පැවැසුවා.

වසන්ත මුදලිගේ, ගල්වල සිරිධම්ම හිමි හා හෂාන් ජීවන්ත ගුණතිලක යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනාගේ සුවදුක් විමසීම සඳහා තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයට තමන් ඊයේ ගිය අවස්ථාවේදී මුදලිගේ මහතා මේ බව කියා සිටි බව බෝපගේ මහතා සඳහන් කළා.

එහිදී වසන්ත මුදලිගේ පමණක් මුණ ගැසීමට අවස්ථාව ලැබුණු බවත්, ඉතිරි දෙදෙනා රැඳවුම් මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන ගොස් තිබූ බවත් බෝපගේ මහතා පවසා සිටියා.

පසුගිය මාස කිහිපය තුළ ගාලුමුව‍ෙදාර ඇතුළු දිවයින පුරා ජනතාව සිදු කළ උද්ඝෝෂණ විරෝධතාවලට අන්තර් විශ්වවිද්‍යාවල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරකම් හේතුවූවාය යන ස්ථාවරයේ සිට තිර පිටපතකට අනුව ප්‍රශ්න කිරීම් සිදු වෙනවා යැයි මුදලිගේ මහතා පැවැසූ බවද ඒ මහතා සඳහන් කළා.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අප්‍රේල් 08 පැවැත්වූ උද්ඝෝෂණය, මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙස ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය, පාර්ලිමේන්තුව ආසන්නයේ දින දෙකක් පැවැති උද්ඝෝෂණය, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය, ජූලි 08 වැනිදා පැවැත්වූ උද්ඝෝෂණය හේතුවෙන් ගාලුමුව‍ෙදාර අරගලයට ජනතාව ඒකරාශිවීම් වැඩිවූ බවට ස්ථාවරයේ සිට පොලිස් නිලධාරීන් ප්‍රශ්න කර තිබෙන බවද බෝපගේ මහතා පැවැසුවා.

කොළඹදී පසුගිය 18 වැනිදා පැවැති උද්ඝෝෂණයෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට පත් වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනා නවගමුව දේවාලයේ රඳවාගෙන සිට ඇතැයි එහිදි අනාවරණය වූ බවද  හෙතෙම සඳහන් කළා.

මෙම සැකකරුවන් තිදෙනා කුමන ස්ථානයකට රැගෙන යන්නේ දැයි ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ලැබෙන තුරු මෙසේ නවගමුව දේවාලයේ රඳවාගෙන සිට ඇති බවද ඔහු පැවසුවා.

වසන්ත මුදලිගේ හට කායික වධහිංසා සිදුකර නොමැති මුත් බරපතළ මානසික වධ හිංසාවට ලක් කර තිබූ බවද නුවන් බෝපගේ පැවැසුවා.

බොහෝ කාලයකින් ප්‍රයෝජනයට නොගත් ගොඩනැඟිල්ලක වසන්ත මුදලිගේ රඳවා සිටින බවත් ඔහුගේ ප්‍රයෝජනය සඳහා පැදුරක් පමණක් ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කළා.

තංගල්ල රැඳවුම් මධ්‍යස්ථානයට ගෙනැවිත් ඇති ශිෂ්‍ය ක්‍රියාකාරිකයක් තිදෙනා වෙන වෙනම රඳවා තැබීමට නිලධාරීන් පියවර ගෙන තිබෙන බවද ඔහු පවසා සිටියා.

වසන්ත මුදලිගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන අවස්ථාවලදී එම ස්ථානයේ රැඳී සිටින පොලිස් නිලධාරීන්ට වරින් වර යම් යම් පුද්ගලයන් දුරකථනයෙන් කතා කරන බවට ඔහු පැවැසූ බවද  නුවන් බෝපගේ මහතා වැඩිදුරටත් සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: