hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 9:59



ආණ්ඩුව තුළ යළිත් මත ගැටුම් උග්‍ර අතට හැරී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඊට හේතුවී ඇත්තේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන්.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ඊට සහාය නොදැක්වීමේ ස්ථාවරයක සිටින බවයි වාර්තා වන්නේ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම පෙරේදා (03) රාත්‍රී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.

විසිදෙවැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එහිදි විරෝධය පළ කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී දිසානායක, සරත් වීරසේකර, සිසිර ජයකොඩි යන මහත්වරුන් ඇතුළු පිරිසක් 22 ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළ කරමින් අදහස් පළ කර තිබෙනවා.

22 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ පක්ෂය තුළවත් සාකච්ඡා නොකර බව පවසා ඇති එම මන්ත්‍රීවරුන් මෙය කාගේ වුවමනාවට ගෙන එන්නේද? යන්න ගැටලුවක් බව සඳහන් ප්‍රකාශ කර තිබුණා.

එහිදී අදහස් දක්වා ඇති සාගර කාරියවසම් මහතා දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයටත්, විසිවැනි සංශෝධනයටත් සහාය දුන් මන්ත්‍රීවරුන්ට රෙද්දක් ඇඳගෙන විසිදෙවැනි සංශෝධනයට ඡන්දය දිය හැකි දැයි ප්‍රශ්න කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසි ගණනක් තමාට දුරකථනයෙන් කතා කර, විසිදෙවැනි  සංශෝධනයට විරුද්ධව ඡන්දය දෙන බව ප්‍රකාශ කර ඇතැයි කාරියවසම් මහතා එහිදී ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දක්වා ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා ජනාධිපතිවරයා සතු විධායක බලය අත් නොහැරිය යුතු බව සඳහන් කර තිබෙනවා.

විධායක බලය ඉවත් කෙරෙන සංශෝධනයට සහාය දියනොහැකි බව ඔහු පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ විජයදාස රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස යි.

එහිදී අදහස් දක්වා ඇති ඇමති විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ, මෙය තමා ඉදිරිපත් කළ ද මෙය සකස් කළේ තමාගේ උවමනාට නොව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද අදහසකට අනුව බව සඳහන් කර තිබෙනවා.

විසිදෙවැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී අද (05) පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා  සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධ විවාදය හෙට(06) සහ අනිද්දා (07) පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: