hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 අගෝස්‍තු 19, ප.ව. 5:51



පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමුකරන ලෙස ඉල්ලමින් ඩලස් අලහප්පෙරුම මහතා විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරු ව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී ජූලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී තමාට සහාය දුන් මන්ත්‍රීවරුන්ට යම් අසාධාරණයක් සිදු වෙමින් පවතින බව එහි සඳහන් කර තිබෙනවා.

එම මහජන නියෝජිතයන් නැවත මෙහෙයුම් කමිටු සඳහා පත් නොකිරීමට ආණ්ඩුව තුළ ඇති උනන්දුව පිළිබඳ තමා කනගාටු වන බවත් ඔහු එම ලිපියේ සඳහන් කරනවා.

එම ලිපිය පහතින්,

පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටු පත්කිරීමේ දී බලාත්මක වෛරී දර්ශක පිළිබඳ අවධානය යොමු කිරීම.

නව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ වාර අවසන් කිරීමෙන් අනතුරුව මෙහෙයුම් කමිටු සඳහා මන්ත්‍රීවරුන් පත්කිරීමේ දී, ජුලි 20 වැනි දින පැවති ජනාධිපතිවරණයේ දී මා වෙත සෘජුවම සහාය පළ කළ සහ ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව වෙහෙසුණු මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු නැවත පත් නොකිරීමට ආණ්ඩුව උනන්දුවෙන් කටයුතු කොට තිබේ. එසේ අශිෂ්ට ලෙස දේශපාලන දණ්ඩණයට ගොදුරුව ඇති ඔවුන් සියලු දෙනා රජයේ වංචනික මෙන්ම අනීතික කටයුතු හෙළිදරවු කිරීම සඳහා කොන්දේසි විරහිතව පෙනීසිටි මහජන නියෝජිතයන් බැවින් ඒ පිළිබඳව මාගේ කණගාටුව ද විරෝධය ද එයට උරුම වූ පිළිකුල ද පළමුවෙන්ම මම මෙසේ සටහන් කරමි.

ගරු කතානායකතුමා විසින් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට අනාවරණය කරනු ලැබූ ලේඛනවලට අනුව, පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුව (Business Committee) සහ රාජ්‍ය ගිණුම් කාරක සභාව (Public Finance Committee) සඳහා පත්වීම් සිදු කිරීමේ දී මෙහෙයුම් කමිටුවේ අඛණ්ඩව දශක ගණනාවක් සේවය කළ මා ඉවත්කොට තිබීම අශීලාචාර වුව ද අසංස්කෘතික දේශපාලන පරිසරයක එය තේරුම් ගත හැකි කරුණකි. එහෙත්, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් මා ගේ නම ස්ථිර කරනු ලැබූ මෙන්ම, මා මෙන්ම දිගු කාලයක් එම කමිටුව නියෝජනය කළ ජාත්‍යන්තරය පිළිගත් බුද්ධිමතෙකු වන පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.ඇල් පිරීස් මැතිතුමා ඉවත් කිරීම මෙන්ම ජනාධිපතිවරණයේ දී මා ගේ ගණන් කිරීමේ නියෝජිතයා වූ නීතිඥ ඩිලාන් පෙරේරා සහ මා ගේ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙකු වූ ආචාර්ය නාලක ගොඩහේවා යන මන්ත්‍රීන් දෙපළ ජාතික වගකීමක් සේ සලකා මහත් කැපවීමෙන් කටයුතු කළ ගිණුම් කාරක සභාවෙන් නෙරපා හැරීම නිසැකවම ස්වාභාවික යුක්තියේ මෙන්ම ජනතා පරමාධිපත්‍යයේ මූලධර්මයන් ද උල්ලංඝනය කිරීමකි.

කතානායකවරයා විසින් මෙතෙක් ප්‍රකාශයට පත් නොකළ ද, ඉහත සඳහන් කප්පාදු කිරීම්වලට අමතරව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුවේ (COPE) සභාපතිවරයා ලෙස දූෂණයන්ට එරෙහි අනම්‍ය පිළිවෙතක සිට කටයුතු කොට මහජන ගෞරවය ඉහළින් දිනාගත් මහාචාර්ය චරිත හේරත් මහතා ගේ නම ද ආණ්ඩුවේ ලේඛනයෙන් උගුල්වා පාර්ලිමේන්තුව වෙත යොමු කොට ඇති බව ද, ඔහු මා නියෝජනය කරමින් ජනාධිපතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ බව ද ඔබතුමාට රහසක් නොවේ. එසේම, මෙම කමිටුව නියෝජනය කරනු ලැබූ ආචාර්ය ගුණපාල රත්නසේකර මන්ත්‍රීවරයා ද මා ගේ සමීපතම ආධාරකරුවෙකු වීම හේතුවෙන් මෙහිදී ආණ්ඩුවේ උදහසට ලක්ව ඇත.

ගරු අගමැතිතුමනි, එක් අතකින් ගරු ජනාධිපතිවරයා විසින් රට ගොඩනැගීම සඳහා සියලු බේද පසෙකලා සර්වපාක්ෂික රජයක් පිහිටුවීම සඳහා යෝජනා කරන අතරතුර අනෙක් අතට, ජනාධිපතිවරණයේ ඔහු ගේ ප්‍රධාන ප්‍රතිවාදීයා ද, ඔහු ගේ සමීපතයන් ද මෙලෙස දඩයම් කිරීම තුළින් නැවත නැවතත් පිළිඹිබු වන්නේ දශක ගණනාවක් පුරා ක්‍රියාත්මකව දැනට වියපත්ව, ගිලන්ව සිටින ශ්‍රි ලාංකේය කෛරාටික දේශපාලනයේ නෂ්ටාවශේෂ නොවේ ද?

මේ අනුව, නිසැකවම පැහැදිලි වනුයේ මීට දින 21 ට පෙර ගරු ජනාධිපතිතුමන් විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනය ලෙස එළිදක්වා ඇත්තේ අරුත්සුන් හිස් ප්‍රලාපයක් බව පමණි. එමනිසා, ජනසම්මත වාදය සහ ලිච්ඡවී ප්‍රතිපත්ති පිළිබඳව උස් හඬින් කතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ උල්පත ලෙස සළකන පාර්ලිමේන්තුව අභ්‍යන්තරයේ නිහඬව මේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට ‘’ජරාතන්ත්‍රවාදය’’ ආදේශ කිරීමකි යි යන මා ගේ නිර්වචනය කාරුණිකව පිළිගනු මැනවි.

ගරු අගමැතිතුමනි, පාර්ලිමේන්තුව තුළ මිතුරන් සේ අතට අත දෙන බොහෝ දෙනා ගේ ඇඟිලිකරු අතර නිර්වස්ත්‍රව පෙනෙන කුහකකම පසුකාලීනව හෝ හඳුනාගැනීමට හැකිවීම සතුටට කරුණකි. එම සතුට අපට දිරිය, සවිය හා ආරක්ෂාව සපයන යෝධ බලයන් වනවාද ඒකාන්තය. එබැවින්, කුමන කෙණෙහිලිකම් මැද වුව ද අචලව අනාගතය දෙස පමණක් සුබවාදීව බැලීමට අපි ඒකමතිකව තීරණය කළෙමු.

මෙම ලිපිය කිසිවෙකු ගේ සිත රිදවීමේ අරමුණින් හෝ අප කිසිවකු ගේ අහිමි කළ තනතුරු ඉල්ලා කරනු ලබන ආයාචනයක් ලෙස හෝ ඒ වෙනුවෙන් කරනු ලබන බැගෑපත්වීමක් ලෙස නොව වත්මන් දෙබිඩි පාලනයේ දෙබිඩි පිළිවෙතට එරෙහි ” උණ්ඩයක් ” ලෙස ඔබතුමා විසින් පිළිගනු ඇතැයි යන්න මා ගේ අවංක විශ්වාසයයි.

අවසාන වශයෙන්, මානව අයිතිවාසිකම් සහ පීඩනයන්ට එරෙහි සටනේ අද්විතීය චරිතයක් ලෙස ඔබතුමන් ගේ ද, මා ගේ ද නොමද ගෞරවයට පාත්‍ර වූ මාටින් ලූතර් කිං නම් ශ්‍රේෂ්ඨයා ගේ යුගාන්තරව නොමියෙන වචන කීපයකින් මෙම සටහන නිමා කරමි. ” සතුරන් නිර්මාණය කිරීමට ඔබට යුද්ධයක් අවශ්‍ය නැත. අවශ්‍ය වනුයේ ඔබගේ සිතුවිලි ඉදිරිපත් කිරීම පමණි.

බෙහෙවින්ම ස්තුතියි,
මම – විශ්වාසී

ඩලස් අලහප්පෙරුම ( පා.ම)
18/08/22

පිටපත්

1) ගරු ජනාධිපතිතුමන්,
2) ගරු කතානායකතුමන්,
3) ගරු සභානායකතුමන්,
4) ගරු ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමන්,
5) ගරු විපක්ෂයේ නායකතුමන්
6) අන්තර් පාර්ලිමේන්තු සංවිධානය (IPU)
7) පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPU)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: