hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 31, ප.ව. 9:37



ව්‍යාජ ආරක්‍ෂිත ස්ටිකර් සහිත මත්පැන් බෝතල් හඳුනාගැනීම සඳහා නව යෙදුමක් වහාම සකස් කරන ලෙස පාර්ලිමේන්තුවේ ක්‍රම හා විධි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සුරාබදු දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා.

ඒ පසුගියදා එම දෙපාර්තමේන්තුවේ සිදුකල නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂ ද සිල්වා සහ ගාමිණී වලේබොඩ යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

එම ව්‍යාජ ස්ටිකර් හඳුනාගැනීමේ යාන්ත්‍රණයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත් මෙහිදී අනාවරණ වුණා.

තවද පසුගිය අයවැයෙන් බදු වැඩිකිරීම් ඇතුළු කරුණු කිහිපයක් මත්පැන් ආදායම පහළ වැටීමට හේතු වූ බව මෙහිදී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

මිල වැඩි කිරීමට පෙර ඉල්ලුම් නම්‍යතාවය ගණනය කිරීම අවශ්‍ය බව මෙහිදී කාරක සභාවේ සාමාජිකයින් පෙන්වා දී ඇත.

එසේම මත්පැන් සඳහා බදු වැඩිකිරීම සිදුකිරීමේදී දෙපාර්තමේන්තුව විසින් සුදුසු සමීක්ෂණ සිදු කොට මුදල් අමාත්‍යාංශයට නිසි උපදෙස් ලබාදිය යුතු බවද කාරක සභාවේ සාමාජිකයින් අවධාරණය කළා.

එමෙන්ම මත්පැන් නිෂ්පාදනය සඳහා භාවිත කරන සහල් ඇතුළු අමුද්‍රව්‍ය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ද කාරක සභාව සුරාබදු දෙපාර්තමේන්තු වේ නිලධාරීන් වෙත නියෝග කළා.

තවද රට තුළ නිෂ්පාදනය වන මත්පැන් ප්‍රමාණය සහ වෙළෙඳ පොළට නිකුත් කෙරෙන මත්පැන් ප්‍රමාණය ඇතුළු තොරතුරු සෘජුව පරීක්ෂා කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ පාලනය යටතේ යාන්ත්‍රණයක් තිබිය යුතු බව ද කමිටුව පෙන්වා දී තිබෙනවා.

මේ අතර මධ්‍යසාර නිෂ්පාදනය සඳහා රා අවශ්‍යතාවය සහ කෘතිම රා නිෂ්පාදනයෙන් සිදුවන බලපෑම් සහ රා නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා නව පොල් ගස් වගා කිරීම ඇතුළු විවිධ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි වාර්තා වේ.

එසේම බොහෝ මත්පැන් සමාගම්වලින් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතු හිඟ බදු මුදල් පවතින බවද නිලධාරීහු මෙහිදී පැවසූ අතර එවැනි සමාගම්වල බලපත්‍ර අවලංගු කිරීම පිළිබඳව අවධානය යොමු කරන ලෙස කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: