hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 30, ප.ව. 3:58



සමගි ජන බලවේගයේ ක්‍රියාකාරික සාමාජිකයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතාට පක්ෂයේ ඉහළ තැනින්ම කැපිල්ලක් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

ඉමිතියාස් මන්ත්‍රීවරයා පසුගිය සතියේ කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයට ගොස් තිබුණේ පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා සකස් කිරීමේ කටයුතු සඳහායි.

බේරුවල නගර සභාවේ නාමයෝජනා ගැන ඔහු වැඩි අවධානයක් යොමුකර තිබුණේ කළුතර ඔහුගේ මැතිවරණ දිස්ත්‍රික්කය නිසායි. පසුගිය පළාත් පාලන මැතිවරණය ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කර නගරාධිපති ධුරය ලබාගත් මසායි මොහොමඩ් මහතාට සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ලබාදීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබූ බව වාර්තා වනවා.

එහෙත් නාමයෝජනා භාරදෙන විට මසායි මහතාගේ නම ලැයිස්තුවෙන් කපා දමා තිබූ බව වාර්තා වනවා. අවසන් මොහොතේ එය දැනගත් නිසා එය වළක්වා ගන්නට හෝ වෙනත් විසඳුමක් ලබා ගැනීමට ඔහුට නොහැකි වී තිබූ බවත් පසුව මසායි මහතා වහාම ඉමිතියාස් මන්ත්‍රීවරයාට දුරකථනයෙන් කතා කර තිබූ බවත් එම ආරංචි මාර්ග සඳහන් කළා.

“බලන්න ඇමැතිතුමා නායකතුමා මාත් එක්ක ඉඳලා ෆොටෝ එකකුත් ගත්තා. මට නාමයෝජනා දෙනවා කියලත් කිව්වා. එදා දුන්නු පොරොන්දු අද සේරම කඩලා මගේ විශ්වාසයට ද්‍රෝහිකමක් කළා” යැයි කියද්දී ඉමිතියාස් මන්ත්‍රීවරයා දැඩි කලකිරීමකට පත්ව ඇතැයිද වාර්තා වනවා.

“මේක හරිම කැත වැඩක්. මම පක්ෂයේ වැඩවලට කැපවෙලා වැඩ කරද්දී මෙහෙම අපේ අය කපනවා” ඉමිතියාස් මන්ත්‍රීරයා ප්‍රකාශ කර සජබ කාර්යාලයට ගොස් ඇතැයි වාර්තා වනවා.

මන්ත්‍රීවරයා පක්ෂ කාර්යාලයට යනවිට සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු මැතිවරණ මෙහෙයුම් කමිටුව එහි රැස්ව තිබී ඇති අතර පක්ෂ ලේකම්වරයා ඇමතූ ඉමිතියාස් මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ “බලන්න ලේකම්තුමා මේ කරලා තියෙන කැත වැඩේ. බේරුවල නගරාධිපතිවරයා ගියපාර තනියම ඡන්දේ ඉල්ලලා නගරාධිපති වුණේ. අපේ පක්ෂයෙන් අවස්ථාවක් දෙන්නම් කියලා අන්තිම වෙලාවෙදි නම කපලා. දැන් ස්වාධීනව ඉල්ලන්නවත් අවස්ථාවක් නැහැ. මේ වැඩ නිසා මට මේ අයට මුහුණදෙන්නත් බෑ. පක්ෂයෙන් යන්න ඉන්න අයගේ ගෝලයන්ට නාමයෝජනා දීලා සජිත්ට ඇත්තටම හිතවත්ව ඉන්න අපේ අයගේ නම් කපලා.” යැයි දැඩි ලෙස දොස් නගා ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවා.

“මම මේ ඡන්දයේදී කිසිම වැඩකට සම්බන්ධ වෙන්නේ නෑ” කියමින් ඉමිතියාස් මන්ත්‍රීවරයා පක්ෂයේ මැතිවරණ කටයුතුවලින් ඉවත් වූ බව වාර්තා වනවා.

කොළඹ මහ නගර සභාවේ හිටපු මන්ත්‍රිවරයකු වූ ෂාම් නවාස් මහතාද සජබ ලැයිස්තුවෙන් තරග කිරීමට නම ඇතුළත් කර තිබී පසුව එය කපා දැමූ බවද එම ආරංචි මාර්ග පැවසුවා. ඔහුද ඉමිතියාස් ආධාරකරුවකු මෙන්ම හිතවතකු බවද වාර්තා වනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: