hit counter

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 19, පෙ.ව. 11:07



පාක්ෂිකයන් දහස් ගණනක් පැමිණ ඩාලි පාරේ පක්ෂ මූලස්ථානය වටලා ඉන් එළියට ඇද දමන තුරු නොසිට තනතුරුවලින් ඉවත් වන්නැයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ විධායක සභික මොන්ටේගු සරත්චන්ද්‍ර පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා.

ඉකුත් 2015 යහපාලන ආණ්ඩුව පිහිටුවීමේ සිට මේ දක්වා රාජපක්ෂ කණ්ඩායමට ශ්‍රී ලනිපය විනාශ කිරීමට අවශ්‍ය ඉඩප්‍රස්ථාව නිර්මාණය කිරීමත් එමගින් පක්ෂය වේගයෙන් විනාශයට ඇද දැමූ බවට ත් පක්ෂ සභාපතිවරයාට චෝදනා කරමිනුයි ඔහු මේ ලිපිය යොමු කර තිබෙන්නේ.

එමෙන්ම පසුගිය 2018 වසරේ පක්ෂ ලේකම් දැනුවත් නොකොට මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් කරමින් පක්ෂ විනය කඩා දැමූ බවත් අනතුරුව පසුගිය සැප්තැම්බර් 2 වන දා ඒකාධිපති ලෙස පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කර අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය මරා දැමුවේ පක්ෂ සභාපතිවරයා බවත් මොන්ටේගු සරත්චන්ද්‍ර සිය ලිපියෙන් තවදුරටත් චෝදනා නගා තිබෙනවා.

චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනියට පින්සිදු වන්නට 2015 දී පක්ෂයේ සභාපති ධූරයට පත්වුව ද පසුගිය සැප්තැම්බර් 26 දා බණ්ඩාරනායක ගුණ සමරුව දෙකඩ කිරීමට පක්ෂ සභාපතිවරයා ක්‍රියා කළේ ඉතිහාසය අමතක කර බවට ද එම ලිපියෙහි සඳහන් වෙනවා.

2015 ජනාධිපතිවරණයේදීත් 2020 මහ මැතිවරණයේදීත් පක්ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසලකා පක්ෂ ලේකම්වරයා සමග එක්ව හිටපු ජනපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණට පාවා දුන් බවට ද එම ලිපියෙන් චෝදනා කර තිබෙනවා.

එය මෝඩ තකතීරු තීරණයක් බව ත් ඉන් පාක්ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන් ද වන්දි ගෙවන බව මොන්ටේගු සරත්චන්ද්‍ර එම ලිපියෙහි තවදුරටත් සඳහන් කර තිබෙනවා.

එම සම්පුර්ණ ලිපිය පහතින්,

පක්ෂය වැනසුවා හොඳටම ඇති, දැන් යන්න.

2019 ජනාධිපතිවරණය ආසන්නයේ සිටම පක්‍ෂයට සහ පාක්ෂිකයාට වැදගත් විවිධ කරුණු පිළිබඳව ඔබටත්, පක්‍ෂයේ ලේකම්වරයාටත් ලිපි මගින් දැනුම් දුන්නද, අඩුම තරමින් එකී ලිපි ” ලද බව දැන්වීමට ” හෝ ඔබවත්, පක්‍ෂයේ ලේකම්වරයාවත් කටයුතු නොකිරීම පිළිබඳව මගේ දැඩි අප්‍රසාදය සහ විරෝධය ඔබ වෙත පළ කරමි. එහෙයින්ම විවෘත සංදේශයක් ලෙස මෙහි පිටපත් පක්ෂයේ ක්‍රියාධරයන් වෙත යවන බවද කරුණිකව දන්වමි.

ඉතා දිගු කලක් ඔබ පිළිබඳවත්, අපේ ආදරණීය පක්‍ෂය පිළිබඳවත් බොහෝ අත්දැකීම් ඇති අයෙකු ලෙස අමුතුවෙන් අටුවා ටීකා ලිවීමට මම කාලය නොගනිමි. කෙසේ වෙතත්, 2015 දී ඔබ රටේ ජනාධිපතිවරයාත්, පක්ෂයේ සභාපතිවරයාත් ලෙස පත්වීමෙන් රටටත්, පක්‍ෂයටත් යහපත් කාලයක් උදාවනු ඇති බව මම විශ්වාස කළෙමි.

ලෝක ඉතිහාසයේ පළමු වතාවට කිසියම් රටක් පාලනය කරන ලද ප්‍රධාන පක්ෂ දෙකම එකතු වී 2015 දී පිහිටුවන ලද ශක්තිමත් ආණ්ඩුවක නායකයා මෙන්ම, එදා මෙදා තුර වැඩිම කාලයක් අපේ රට පාලනය කළ අපේ ආදරණිය පක්‍ෂයේද, නායකයා වූ ඔබ අප පාක්ෂිකයින් පමණක් නොව රටේ සමස්ත ජනතාවම බලාපොරොත්තු වූ පරිදි ජනතාවට වැදගත් ක්‍ෂේත්‍ර පිළිබඳව ජාතික ප්‍රතිපත්ති සම්මත කරවමින් ශ්‍රී ලංකා කාරයෙකු ලෙස අපේ පක්‍ෂයේත්, රටේත් අභිමානය ලොව පුරා පතුරවනු ඇති බව මම විශ්වාස කළෙමි.

රාජ්‍ය නායකයා ලෙසත්, අප පක්‍ෂයේ නායකයා ලෙසත් ඔබ විසින් ගනු ලැබූ ප්‍රදර්ශනාත්මක මෝඩ තීරණ පිළිබදව පක්ෂයේත්, රටේත් බොහෝ දෙනා අප්‍රසාදය පළ කරන විට, යම් අඩු පාඩු තිබුණද ඔබ අපේ රටට නොබෙල් සාම ත්‍යාගයද ගෙනෙන්නට හැකි අයෙකු බව පෙන්වමින් ඔවුන් සමග තර්ක කළෙමි. ඊට එරෙහිව පෙනී සිටියෙමි.

2015 ජනවාරි 09 දින ජනාධිපති පදවියේ දිවුරුම් දී ජාතිය ඇමතු පළමු අවස්ථාවේම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන බවටත්, එතෙක් එහි බලතල කප්පාදු කර දමා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන බවටත්, පදවියෙන් විශ්‍රාම ගිය පසු නිල නිවාස හා අනෙකුත් වරප්‍රසාද සියල්ල අතහැර දමා පොළොන්නරුවට ගොස් විවේකීව ජීවවන බවටත්. ඔබ කළ ප්‍රකාශය ගැන මම ආඩම්බර වුයෙමි. ඒ එම ප්‍රකාශය සැබෑ ශ්‍රී ලංකා කාරයෙකුගේ ප්‍රකාශයක් බව සිහිපත් කරමිනි.

එහෙත් මේ සියල්ල හීන බවට පමණක් පත් කරමින් ඔබ එම තනතුරු වල කටයුතු කළ ආකාරය නින්දනීයය. උභතෝකෝටිකය. ජුගුප්සාජනකය. පක්‍ෂයත්, රටත් ගොඩනගනු වෙනුවට ඒවා වැනසීමට ඔබ සැදී පැහැදී සිටියේය. රටේ නායකත්වය හෝ පක්ෂයේ නායකත්වය ඔබට බොහෝ බර වැඩි බව ගත වූ වසර කිහිපය තුළ ඔබ ප්‍රායෝගිකව පෙන්වා හමාරය. කවුරුන් කෙසේ කීවද ඔබ ලස්සන සුරංගනා කතන්දර කරුවෙකු පමණක් බව රටටත්, ජනතාවටත් ඔප්පු කර අවසානය.

2015 ජනවාරි වන විට හොරෙකු දුෂකයෙකු, වංචාකාරයෙකු ලෙස හංවඩු ගසමින් ජනාධිපතිවරණයේදී පරාජය කළ මහින්ද රාජපක්‍ෂ මහතාට ඉන් මාස 06 ක් ගතවන්නටත් පෙර පැවති මහා මැතිවරණය සදහා හොර රහසේම පක්ෂයේ නාම යෝජනා ලබාදුන්නේ ඔබය, රටේ නායකත්වයේත්, පක්‍ෂ නායකත්වයේත් සිටියත්, මහින්ද රාජප්පක්‍ෂ මහතා ඉදිරියේ ඔබේ දෙපා පණ නැති වන බව ඔබ මුළු රටටම පෙන්වූයේය.

ඉන් නොනැවතුණු ඔබ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 50කට වැඩි ප්‍රමාණයකට අපේම රජයට එරෙහිව විපක්‍ෂ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඉඩ ලබා දුන්නේය. පක්ෂයේ ගම් මට්ටම නියෝජනය කරන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුනට අද වන විට විවිධ බොරු චෝදනා දමමින් විනය පියවර ගන්නා ඔබ එදා පක්‍ෂයට විරෙහිව ප්‍රසිද්ධියේ කටයුතු කළ මහින්ද මහතා ඇතුළු කණ්ඩායමෙන් අඩුම තරමින් නිදහසට කරුණු විමසීමක්වත් කරන්නට ඔබට කොන්දක් නොතිබුණි.

පක්‍ෂ ව්‍යවස්ථාවට සහ චන්ද්‍රිකා මැතිනියට පින් සිදුවන්නට 2015 දී නිල බලයෙන් පක්‍ෂයේ සභාපති ලෙස පත්වූ ඔබට එයද දරාගත නොහැකි වගකීමක් බව පෙනුණි. එහෙයින්ම ඉන් වසර තුනක් ගත වීමටත් පෙර පක්‍ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මධ්‍යම කාරක සභාවට උඩින් ඔබ විසින්ම පත්කර ගන්නා දේශපාලන මණ්ඩලයක් පක්‍ෂයේ උත්තර්තර මණ්ඩලය කරමින් වක්‍රව සභාපති බලතල වැඩිකර ගත්තේය.

පක්ෂයේ මධ්‍යම කාරක සභා තීන්දු ගැන, පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති ගැන රටට පුරසාරම් කියන ඔබ, මධ්‍යම කාරක සභාව තබා ලේකම්වරයාවත් නොදැන හොර රහසේම මහින්ද මහතා අගමැති පදවියට පත් කරමින් පක්‍ෂ විනය හා ප්‍රතිපත්ති අමු අමුවේ කඩා දැමුවේය. ඉන් නොනැවතී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නීති විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ පසු ජනාධිපතිවරයෙකුට තබා ග්‍රාම සේවකටරයෙකුටවත් තම තනතුරේ රැදී සිටීමට නීත්‍යානුකූල හෝ සදාචාරත්මක අයිතියක් නැත. එහෙත් ඔබ තවදුරටත් නිර්ලජ්ජිතව තනතුරෙහි රැඳී සිටියේය.

නිදහසින් පසු මෙරට රාජ්‍ය නායකයෙකු යටතේ සිදුවූ දරුණුතම සහ සැලසුම් සහගතම ඛේදවාචකය වු පාස්කු ප්‍රහාරය පිළිබඳව අධිකරණමය කටයුතු සිදුවන නිසා මම ඒ ගැන කිසිවක් නොකියමි. එහෙත් ඒ ගැන සෙවීමට ඔබ විසින්ම පත් කළ ජනාධිපති කොමිසමකින් ඊට අදාළව ඔබට එරෙහිව අපරාධ චෝදනා ගොනු කිරීමට නිර්දේශ කර ඇති බවක්ද දැනගන්නට තිබේ.

2015 ජනාධිපතිවරණයේදීත්, 2020 මහ මැතිවරණයේදීත් පක්‍ෂයේ සියලු ව්‍යවස්ථාපිත සංවිධානවල තීරණ නොසළකා, ලේකම්වරයා සමඟ එක්ව ඔබ අපේ පක්ෂය පොහොට්ටුවට පාවා දුන්නේය. ඔබේ ඒ මෝඩ තකතීරු තීරණවලට අද වන විට වන්දි ගෙවන්නේ අපේ පාක්‍ෂිකයන් පමණක් නොව සමස්ත රට වැසියන්මය.

2015 දී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ උත්තතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පනස් ගණනක් 2018 පිහිට වූ පොහොට්ටු පක්ෂයේ සාමාජිකත්වය ගත් බව ඔවුන් විසින්ම පුන පුනා ප්‍රකාශ කරද්දි පක්ෂ ව්‍යවස්ථාව අනුව ඔවුන් සියලු දෙනාගේ මන්ත්‍රී පදවි අහිමි කර පක්ෂයේ වෙනත් පිරිසක් මන්ත්‍රී පදවිවලට පත්කර ගැනීමට හැකියාවක් තිබුණි. එහෙත් ගරු කතානායකතුමාගේ විමසීමකට පක්ෂයේ මධ්‍යම කාරක සභාවටත් නොදන්වා ඔබ, මහින්ද මහතා ඇතුළු මන්ත්‍රීවරුන් තවදුරටත් ශ්‍රී ලනිපයේ බව දැනුම් දෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වනසා පොහොට්ටු පක්ෂය රැක දුන්නේය. අද වන විට පක්ෂයේ මන්ත්‍රී ධූරයක් දරන්නේ යාපනයේ රාම්නාදන් මන්ත්‍රීවරයා පමණි.

පසුගිය සැප්තැම්බර් 02 දින නීත්‍යානුකූල නොවන ලෙස නැවත පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කරගත් ඔබ පක්ෂයේ මෙතෙක් යම් පමණකට හෝ පැවති ප්‍රජාතන්ත්‍රවාදය ද මරා දැමුවේය. ඒ අනුව පක්ෂයේ විධායක සභාව විසින් පත්කරන ඕනෑම නිලයක් සිටින්නෙකු අවශ්‍ය ඕනෑම අවස්ථාවක කිසිදු කරුණු විමසීමකින් තොරව එම නිලයෙන් ඉවත් කිරීමට ඔබ බලය ලබාගත්තේය. මෙලෙස පාක්ෂිකයන්ගේ පරමාධිපත්‍ය බලය, මූලික අයිතිවාසිකම් අහිමි කර ඇති ඔබ ජනතාවගේ මේ අයිතීන් ගැන කතා කිර්මත් රටම රවටන ලොකුම විහිළුවක් බව නොකියාම බැරිය.

ඔබට චීන පාක්ෂික විරෝධය මගහරවා ගැනීම සඳහා මේ වන විට ඔබ බණ්ඩාරනායකවරුන් විකිණීමේ අලුත් සෙල්ලමක්ද පටන්ගෙන ඇති බව පෙනෙයි. 2021 සැප්. 26 දින පැවති බණ්ඩාරනායක ගුණ සැමරුම දෙකට කඩමින් නිල ගුණ සැමරුමෙන් පසුව පක්ෂය වෙනුවෙන් සමාධියට වෙනම් පුපෝපහාරයක් පැවැත්වූ ඔබ 2022 ජනවාරි 08 වන දා ගාලුමුවදොර බණ්ඩාරනායක පිළිරුව අධ්යස පුපෝපහාරයට ද එයම කළේය. මෙවර සැප්තැම්බර් 26 පැවති බණ්ඩාරනායක ගුණ සමරුවට පාක්ෂිකයින් සහභාගිවීම වැළැක්වීමට ඉතිහාසයේ පළමු වරට ඔබ පක්ෂය මගින් කොළඹ BMICH හිදී පුපෝපහාරයක් පැවැත්වීය. මේලෙස පක්ෂයේ නිර්මාතෘවරයාගේ ගුණ සමරුවට පාක්ෂිකයන් සහභාගිවීම බෙදීමට කටයුතු කළ ඔබත්, ලේකම්වරයාත් මේ ආත්මයේදීම අතපය කැඩී ඒ පාපයට වන්දි ගෙවනු ඇති බව පාක්ෂිකයන්ගේ මතයයි.

කිවයුතු තවත් බොහෝ දේ තිබුණ ද ලිපිය මීට වඩා දිගු කිරීමට අදහස් නොකරම්. ඔබ හා ලේකම්වරයා එක්ව අපේ ආදරණිය පක්ෂයට සිදුකර ඇති විනාශය හොඳටම ප්‍රමාණවත්ය. මෙලෙස වුව හොත් පාක්ෂිකයින් දහස් ගණනක් පක්ෂ මූලස්ථානය වටලා ඔබත්, ලේකම්වරයාත් නිරුවත් කර මූලස්ථානයෙන් එළියට ඇද දමන දිනය වැඩි ඈතක නැති බව සිතමි. එහෙයින් පක්ෂයට ආදරය කරන සමස්ත පාක්ෂිකයින් වෙනුවෙන් අවසාන වශයෙන් මම ඔබෙන් මෙලෙස ඉල්ලමි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: