hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 20, පෙ.ව. 8:22



22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද සහ හෙට විවාදයට ගැනෙනවා.

එහි දෙවනවර කියවීමේ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි. 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අද විවාදයට ගැනෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන පක්ෂ අතර පවා මතභේද පවතින පසුබිමකයි.

ඊට ආසන්නතම හේතුව වූයේ ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින්ට මැතිවරණ සඳහා ඉදිරිපත් විය නොහැකි බවට එම කෙටුම්පතේ සඳහන් වීමයි. 

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බ‍ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.

පාර්ලිමේන්තුවේ අද සහ හෙට විවාදයට ගැනීමට නියමිත විසිදෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් ඊයේ (19) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති අතර, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් ගණනාවක් එහිදී 22 වැනි සංශෝධනයට විරුද්ධව අදහස් ප්‍රකාශ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එහිදී අදහස් දක්වා ඇති හිටපු ඇමති එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කරන කිසිදු සංශෝධනයකට තමාගේ සහය නොදෙන බවයි.

හිටපු ඇමති ආචාර්ය සරත් වීරසේකර මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්දය දුන් තමා 22 වැනි සංශෝධනයට විරුද්ධව ද ඡන්දය දෙන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අදහස් දක්වමින් පවසා ඇත්තේ, 22 වැනි සංශෝධනයට සහාය දීම විහිළුවක් වන බවය.

පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රැසක් ඊට විරුද්ධව ඡන්දෙ දෙන බවද ඔහු සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ කණ්ඩායමක් ලෙස එක්ව තීරණයක් ගත යුතුව ඇති බවයි.

කෙසේවෙතත් ආණ්ඩුව විසින් ගෙන එන යෝජනාවක් පරාජය කිරීමට ආණ්ඩුවේම පාර්ශවලට නොහැකි බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ. 

එකග වූ ආකාරයට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කරන්නේ නම් ඊට සහය දෙන බවයි නිදහස ජනතා සභාව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම පැවසුවේ.

සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පැවසුවේ කොන්දේසි ගණනාවකට යටත්ව 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබා දෙන බවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: