hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 2:47



ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට පූර්ණ සහාය ලබාදෙන බව විදෙස් තානාපතිවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වී තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ණය ප්‍රතිව්‍යුහගතකරණය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීම පිළිබඳව විදෙස් තානාපතිවරු දැනුවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ඔවුන් මේ බව සඳහන් කර තිබෙනවා.

පැරිස් සමාජය (Paris Club) සහ පැරිස් සමාජයට අයත්  නොවන රටවල් 23කට අයත් තානාපතිවරු මෙම සාකච්ඡාව සඳහා එක්වූ බව එම මාධ්‍ය අංශය පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව මුහුණ දී ඇති මෙම තත්ත්වයෙන් මිදීමට සිය පූර්ණ සහාය ලබාදෙන බව මෙහිදී සඳහන් කළ විදෙස් තානාපතිවරු කඩිනමින් මෙම අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවට ද විශ්වාසය පළ කළා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට තිබෙන එකම අභියෝගය මෙම ආර්ථික අර්බුදය බවත්, එය අනාගත පරපුර වෙනුවෙන් ජය ගැනීම සිය අපේක්ෂාව බවත්ය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වූ සාකච්ඡා මෙම වසර අවසන්වන විට සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරයා පැවසුවා.

විදෙස් තානාපතිවරු වෙත සිය ස්තුතිය පිරිනැමූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ රජය සෑම අවස්ථාවකම  විනිවිදභාවයෙන් හා සමානාත්මතාවයෙන් කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: