hit counter

2024 මාර්තු මස 28 වන බ්‍රහස්පතින්දා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 8:31



ජනපති රනිල් වික්‍රමසිංහ එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙකුට පහරදෙමින් ද්විත්ව පුරවැසි පනත අහෝසි කිරීමට මෙන්ම පොදුජන එක්සත් පෙරමුණ කැබලි කිහිපයක බෙදීමකට ලක් කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ පෙරේදා (26) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදීයි.

පොදුජන එක්සත් පෙරමුණේ ආරක්ෂකයා වශයෙන් පත් කරගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉතාමත් සාර්ථකව පොහොට්ටුවට පහර පිට පහර දෙමින් එම පක්ෂය කුඩුපට්ටම් කරමින් සිටින බවයි ඔහු කියා සිටියේ.                     

මෙහිදී තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද සඳහන් කළා.

“මහින්ද සමග යළි නැගිටිමු කියමින් කළුතර හා නාවලපිටිය වේදිකාවේ ඉස්සරහම හිටිය අය අද කණ්ඩායම් කීපයකට බෙදිලා එකිනෙකාට එරෙහිව කටයුතු කරමින් ඉන්නවා. විසි දෙවන ව්‍යවස්ථා සංශෝධනයෙදී එක කණ්ඩායමක් බැසිල් මහත්තයට සහයෝගය දෙමින් ඡන්දය නොදී හිටියා. තවත් කණ්ඩායමක් රනිල් මහත්තයට සහයෝගය දෙමින් ඡන්දය දුන්නා. ද්විත්ව පුරවැසිභාවයට සහාය පළ කරන 25 ක් පමණ පිරිසක් එදා ඡන්දය දුන්නේ නෑ. ඡන්දය දීම ප්‍රතික්ෂේප කළා. මේ බෙදුන එක කණ්ඩායමක් අද පොහොට්ටුව අලියගෙ නැට්ටෙ නෙවෙයි, පොහොට්ටුව අලියාගේ බෙල්ලේම එල්ලන්න කටයුතු කරමින් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ස්වාධීන වුණා කියලා අපිට චෝදනා කරපු අයට අද කියන්න තියෙන්නේ අපිට චෝදනා කර කර ඉන්නේ නැතුව ඉදිරි මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහ එක්ක එකතුවෙලා අලියගෙන් ඡන්දෙ ඉල්ලන්න සූදානමින් ඉන්න පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිස ආරක්ෂා කරගන්න කියලයි.  

මේ රටේ පුරවැසියන් වශයෙන් දිවුරුම් දීලා පාර්ලිමේන්තුවට ආපු ද්විත්ව පුරවැසියෝ දහ දෙනෙක් විතර පාලිමේන්තුව ඉන්නව කියල විශ්වාසවන්ත ආරංචියක් අපිට ලැබිලා තියෙනවා. මේ අය නම් කවදාවත් අපි ද්විත්ව පුරවැසියො කියලා ඉදිරිපත් වෙන්නේ නෑ. අපි කථානායකතුමාගේ ඉල්ලීමක් කරනවා මේ ද්විත්ව පුරවැසියෝ කවුද කියලා හෙළි කරන්න කියලා තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කරන්න කියලා ,එතකොට මේ දෙබිඩි චරිත කවුද කියලා රටටම හෙළිදරව් වෙයි” යැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මහනුවර – කමල්  සුරවීර  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: