hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 1:08



ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින පවුල් සහ දරුවන් වෙනුවෙන් උපකාර කිරීමට ශ්‍රී ලංකා සංචාරයේ මුදල් පරිත්‍යාග කිරීමට ඔස්‌ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තීරණය කර තිබේ. ඒ අනුව ඔස්‌ට්‍රේලියානු ඩොලර් 45,000ක මුදලක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ UNICEF තානාපතිවරයකු ලෙස කටයුතු කරන ඔස්‌ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ එක්දින කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්ගේ මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හරහා මෙම මූල්‍ය ප්‍රදානය සිදුකර තිබෙන අතර එහි වටිනාකම රුපියල් මිලියන 11කට ආසන්න වෙනවා.

ඔස්‌ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් විසින් පරිත්‍යාග කරන ලද අරමුදල අවශ්‍යතා ඇති ශ්‍රී ලංකා දරුවන් මිලියන 1.7ක් සඳහා පෝෂණය, සෞඛ්‍ය සේවා, සුරක්ෂිත පානීය ජලය, අධ්‍යාපනය සහ මානසික සෞඛ්‍ය සේවා සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවට එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සඳහන් කර සිටිනවා.

“ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම පසුගිය ජුනි- ජූලි මාසයේදී විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වූ අතර එම දිනවලදී ඉන්ධන සහ ගෑස් නොමැතිකමින් මෙන්ම විදුලිය නොමැතිකමින් ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව සිටි අර්බුදකාරී තත්ත්වය ඔවුන් සියැසින් දුටුවා. ඒ අනුව ඒ පිළිබඳ අදහස් දක්වා සිටි ඔස්‌ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් මෙම පරිත්‍යාගය පිළිබඳ කරුණු දක්වා තිබිණි. ‘වත්මන් ආර්ථික පරිහානිය ශ්‍රී ලාංකිකයින්ගේ එදිනෙදා ජීවිතයට කෙතරම් බලපෑම් එල්ල කර තිබුණාද යන්න අපිට ඉතාම පැහැදිලිව දක්නට තිබුණා. එම සිදුවීම් දුටුවිට ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සහ පවුල්වල අවශ්‍යතා සඳහා මෙම මුදල පරිත්‍යාග කිරීම අපිට පහසු තීරණයක් වුණා.” යනුවෙන් කමින්ස් ප්‍රකාශ කර තිබෙනවා.

ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරත වූයේ 2016 වසරෙන් අනතුරුව වන අතර එහිදී දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම සමත්වුණා.

එක්දින තරගාවලිය 3-2ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගනිද්දී ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස නිමාවට පත් වුණා.

ඔස්‌ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම තවත් රටක් වෙනුවෙන් පරිත්‍යාගයක් සිදු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර 2019 වසරේදී කොරෝනා අර්බුදයට යට වූ ඉන්දියාවේ ඔක්සිජන් සැපයුම සඳහා ඔස්‌ට්‍රේලියානු ඩොලර් 50,000ක්ද ඔවුන් පරිත්‍යාග කර තිබෙනවා.

කෙසේ වෙතත් රටේ අර්බුදයක් පවතින අවස්ථාවක මෙරටට පැමිණි ඔස්‌ට්‍රේලියානු කණ්ඩායමට එක්දින තරගාවලිය අවසානයේදී ශ්‍රී ලංකා ප්‍රේක්ෂක ජනතාව ස්තූතිය පළකර සිටි අතර එය ඔස්‌ට්‍රේලියාවේ මෙන්ම සමස්ත ලෝකයේම අවධානයට ලක් වුණා.