hit counter

2025 සැප්‍තැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 12:07



ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ අමාත්‍යවරුන් සඳහා ආරක්ෂාව තර කර ඇති බවට පළ වූ වාර්තා හමුවේ, විශේෂයෙන් තංගල්ල ප්‍රදේශයේ රාජපක්ෂගේ පෞද්ගලික ආරක්ෂාව ද රජය විසින් ශක්තිමත් කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පැවසුවේය.

ඔහු කියා සිටියේ, රාජපක්ෂ හිටපු ජනාධිපාතිවරයා කලින් නම් කරන ලද ආරක්ෂක කලාපයක් වන කොළඹ 7, විජේරාම මාවතේ පදිංචිව සිටි ප්‍රදේශය මෙන් නොව තංගල්ලට එම මට්ටමේ ආරක්ෂාවක් සපයන්නේ නැති බවයි.

“ඔහු කොළඹ පදිංචිව සිටි ස්ථානය ආරක්ෂිතයි. නමුත්, තංගල්ල එවැනි ප්‍රදේශයක් නොවේ. ඔහුගේ නිවස ඉදිරිපිටින් නිතිපතා බස් රථ ගමන් කරනවා. එය ආරක්ෂිත කලාපයක් නෙවෙයි.” යනුවෙන් ඔහු පැවසීය.

තංගල්ලේදී රාජපක්ෂ හිටපු ජනාධිපාතිවරයා හමුවීමට දැන් විශාල පිරිසක් එක්රැස් වන බවත්, පවතින ආරක්ෂක විධිවිධාන ප්‍රමාණවත් නොවන බවත් ඔහු සඳහන් කළේය.

“දැනට ඉන්න කණ්ඩායමට මෙතරම් විශාල ජනකායක් හැසිරවීමට අපහසුයි. මීට පෙර එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නොවන බව පැවසූ අයටත් ඇතුළුව ජනාධිපතිවරයාගේ, අගමැතිගේ සහ අමාත්‍යවරුන්ගේ ආරක්ෂාව වැඩි කර ඇති බව අපි දැක්කා. එලෙසම, රාජපක්ෂගේ ආරක්ෂාව නිසැකවම වැඩි කළ යුතුයි” යැයි ඔහු පැවසීය.

“රාජපක්ෂ දැන් ඔහුගේ උපන් ගමේ සිටින බැවින් ඔහුට ආරක්ෂාවක් අවශ්‍ය නොවන බව ඇතැම් රජයේ නියෝජිතයන් ප්‍රකාශ කරනවා අපි දැක්කා. නමුත්, යමකු තවත් කෙනෙකුට හානියක් කිරීමට අදහස් කරනවා නම්, ඔවුන්ගේ ඉලක්කය ඔවුන්ගේ උපන් ගමේද නැත්නම් කොළඹද යන්න ගැටළුවක් නෙවෙයි. එවැනි තර්ක නොමැතිව ඔහුගේ ආරක්ෂාව සහතික කළ යුතුයි.” යනුවෙන් තවදුරටත් ගමගේ පැවසීය.

2005 සිට 2015 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ රාජපක්ෂ, හිටපු රාජ්‍ය නායකයන්ට ලබා දී තිබූ වරප්‍රසාද සහ පහසුකම් කප්පාදු කරමින්, ජනාධිපතිවරයාගේ හිමිකම් (අවලංගු කිරීමේ) පනත පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පසු කොළඹ පිහිටි ඔහුගේ නිල නිවසේ සිට තංගල්ලට මාරු විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: