hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2025 ඔක්‍තෝබර් 26, ප.ව. 2:13



ඊයේ (25) පස්වරුවේ අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට රත්මලාන ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් හඹාගොස් වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණය වී ඇත.

ප.ව. 5.25ට පමණ පිළියන්දල, සුවාරපොළ ප්‍රදේශයේ සිට අදාළ වෑන් රථය පැමිණ ඇති අතර මොරටුව කටුබැද්ද හරහා පැමිණෙමින් තිබියදී බස්නාහිර දකුණ රථ වාහන කොට්ඨාසයට අනුයුක්ත රථ වාහන නිලධාරීන් රථය නවතන ලෙස දැනුම්දී ඇත.

එම දැනුම්දීම නොතකා වෑන් රථය ඉදිරියට ධාවනය කිරීම හේතුවෙන් පොලිස් නිලධාරීන් විසින් රත්මලාන, බෙලෙක්කඩේ හංදිය ප්‍රදේශයේදී රථයේ ඉදිරිපස රෝදයට හා පසුපස රෝදයකට පොලීසිය වෙඩි තබා ඇති අතර එහිදී රථය නොනවත්වාම ධාවනය කර ඇත.

අනතුරුව රත්මලාන දුම්රියපොළ ඉදිරිපිටදී වෑන් රථය නවත්වා රියදුරු පලායෑමට උත්සාහ දරා ඇති අතර එහිදී රියදුරු ඇද වැටීමෙන් මුඛය ආසන්නයේ තුවාල සිදුව ඇත. අනතුරුව 1990 ගිලන් රථ සේවාව මගින් ඔහු කළුබෝවිල රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරුව රියදුරු අත්අඩංගුවට ගෙන සිදු කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, රියදුරු ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි සංචාරක ප්‍රවාහන කුළී ගමන් රියදුරෙක් වන අතර වෑන් රථයේ ලියාපදිංචි අයිතිකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන් වේ.

තවද මෙම වෑන් රථය පිළියන්දල සිට රත්මලාන දුම්රියපොළ අසල දක්වා ගමන් කිරීමේදී මාර්ගයේ ධාවනය කරන ලද රථ වාහන කිහිපයක් අනතුරට ලක්කර පැමිණ ඇති බවට තොරතුරු අණාවරණය වී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: