hit counter

2026 මැයි මස 05 වන අඟහරුවාදා

2026 ජනවාරි 04, ප.ව. 5:16



ස්වාධීන සහ ස්වෛරී රාජ්‍යයක් වන වෙනිසියුලාවට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් සිදු කරන ලද හමුදාමය ආක්‍රමණය ජනතා විමුක්ති පෙරමුණ (JVP) දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව එම පක්ෂය නිවේදනය කරයි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ, වෙනිසියුලාවට කඩාවැදී එහි මහජන ඡන්දයෙන් පත්ව සිටි ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගනිමින් එක්සත් ජනපදය සිදු කළ මෙම මැදිහත්වීම ශිෂ්ට සම්පන්න ලෝකය අනුමත නොකරන ක්‍රියාවක් බවයි.

ලොව ඕනෑම නිදහස් රාජ්‍යයක මෙන්ම වෙනිසියුලාවේද පාලකයන් තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ එරට ජනතාවට පමණක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ රාජ්‍යයන්ගේ ස්වාධීනත්වය වැනි ලොව පිළිගත් මූලධර්ම උල්ලංඝනය කරමින් සිදුකරන මෙවැනි හමුදාමය මැදිහත්වීම් නූතන සමාජය තුළ කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බව එම පක්ෂය පෙන්වා දෙයි.

එක්සත් ජනපදයේ මෙම බලහත්කාරී ක්‍රියාව හෙළා දකින අතරම, වෙනිසියුලාවේ ස්වෛරී පැවැත්ම සහ ස්වාධීනත්වය වෙනුවෙන් තම පක්ෂය නිරන්තරයෙන් පෙනී සිටින බවද එම නිවේදනයේ සඳහන් වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: