hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2026 මාර්තු 16, ප.ව. 1:17



ඇමරිකාවේ තෙල් මිල අඩුවන දිනය නිවැරදි ලෙස පුරෝකථනය කළ නොහැකි බව එරට බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් ප්‍රකාශ කරනවා.

ඇමරිකාවේ ABC මාධ්‍ය ආයතනයේ “This Week” වැඩසටහනට එක්වෙමින් රයිට් ඊයේ (මාර්තු 15) සඳහන් කළේ යුද්ධය හේතුවෙන් කෙටි කාලීනව අර්බුදයක් ඇතිවී තිබෙන අතර යුද්ධවලදී එවන් තත්ත්වයන් කෙතරම් කල් ඇදෙනු ඇතිදැ යි පුරෝකථනය කළ නොහැකි බවයි.

ඇමරිකාවේ ඉන්ධන ගැලුමක් ඩොලර් 5 සීමාවට ළඟා නොවනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළා.

මේ අතර තෙල් බැරලය ඩොලර් 200 සීමාවට ළඟාවනු ඇතැයි ඉරානය විසින් කළ අනතුරු ඇඟවීම ගැන NBC ආයතනයේ “Meet the Press” වැඩසටහනට එක්වෙමින් අදහස් දැක්වූ රයිට් කියා සිටියේ තමන් ඉරානයේ ප්‍රකාශයන් වෙත අවදානය නොදෙන බවයි.

ඉරානයට එරෙහි යුද්ධය ඇරඹි දිනවල තෙල් මිල ඉහළ යෑම කෙටි කාලීන අර්බුදයක් වනු ඇති බවත් එය ඉරාන රෙජීමයට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග සඳහා වන කෙටි කාලීන කැපකිරීමක් බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවා. නමුත් මේ වනවිට ඊශ්‍රායලය සහ ඇමරිකාව තවත් සති කිහිපයක යුධ මෙහෙයුම් සිදුකිරීමට වන බව ප්‍රකාශ කරමින් සිටිනවා.