hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2026 මාර්තු 23, පෙ.ව. 9:30



පොෟද්ගලික බස් සංගම් කිහිපයක් විසින් බස් ගාස්තු සංශෝධනය වන තෙක් බස් ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණයත් සමග අද (23) උදෑසන ප්‍රධාන බස් නැවතුම්පොළවල් ආශ්‍රිතව දැඩි පෝලිම් මතුව තිබේ.

මේ හේතුවෙන් මගීන් දැඩි දුශ්කරතාවට පත්ව තිබූ අයුරුද දක්නට ලැබුණි.

පසුගිය (21) මැදියම් රැයේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය පියවර ගත් අතර ඒ අනුව ලංකා සුදු ඩීසල් මිලද ඉහළ යාමෙන් බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව බස් සංගම් විසින් ප්‍රවාහන බලධාරීන් දැනුවත් කර තිබුණි.

ඒ අනුව ඊයේ (22) දිනයේම බස් ගාස්තු සංශෝධනයක් ලබා දෙන ලෙස බස් සංගම් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා තිබුණද එය ඉටු නොවීම හේතුවෙන් අද දිනයේදී බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කළ බව ඔවුන් සඳහන් කළේය.

කෙසේ වෙතත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ මිල සූත්‍රයට පවතින බස් ගාස්තු ඉහළ යාම 10%කට වඩා ඉහළ අගයකින් බලපා ඇති බවය.

මේ හේතුවෙන් අදාළ බස් ගාස්තු සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට නියමිත බවත් ඒ අනුව කැබිනට් මණ්ඩල සංදේශයක් අද දිනයේදී යොමු කිරීමට නියමිත බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් අනුමැතිය හිමිවීමට නියමිත අතර නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කිරීමටද නියමිතව ඇත.

කෙසේ නමුත් නව බස් ගාස්තු ප්‍රකාශයට පත් කරන තෙක් බස් ධාවනයෙන් ඉවත් වීමට තමන් කටයුතු කරන බව බස් සංගම් සඳහන් කළේය.

බස් සංගම් නියෝජිතයින් පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ ඉන්ධන සඳහා වැය කළ යුතු මුදල් ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවත් බස් රථ නඩත්තුව ඇතුළු සියලු කරුණු පැරණි බස් ගාස්තුවෙන් සිදුකළ නොහැකි බවය.

ඒ අනුව නව බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කරන තෙක් තමන් බස් රථ ධාවනයෙන් ඉවත් වන බවද බස් රථ සංගම් නියෝජිතයින් සඳහන් කළේය. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: