hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2026 ජූනි 03, පෙ.ව. 12:18



ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රතිපත්තිමය එකඟතා ප්‍රකාරව ඉදිරියේදී වාහන හෝ වෙනත් කිසිදු භාණ්ඩයක ආනයන සීමා කිරීමට රජය පියවර නොගන්නා බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවැති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ, ඉදිරියේදී නැවතත් වාහන ආනයනය තහනම් කරනු ඇතැයි යන බිය ව්‍යාප්ත කරමින් ඇතැම් වාහන ආනයනකරුවන් විසින් පාරිභෝගිකයන් නොමඟ යවමින් සිටින බවයි.

වෙළෙඳපොළ තුළ මෙවැනි අනියත බියක් නිර්මාණය කරමින්, වැඩි මිලට වාහන මිලදී ගැනීමට පාරිභෝගිකයන් පෙළඹවීම හේතුවෙන් විනිමය අනුපාත කෙරෙහිද අනවශ්‍ය බලපෑම් එල්ල වී ඇති බව ඔහු පෙන්වාදෙනවා.

2025 වසරේ ජනවාරි මාසයේදී තමන් විසින් නිකුත් කරන ලද නිල නිවේදනවල පවා අලුතෙන් ආනයන සීමාවන් දැඩි නොකරන බව පැහැදිලිව සඳහන් කර ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක වන රටක් වශයෙන්, අලුතෙන් ආනයන සීමා පැනවීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව ලිඛිතවම එකඟ වී ඇති බව පෙන්වා දුන් ඔහු, ඉදිරියේදී වාහන ආනයනය තහනම් කරනු ඇතැයි අනියත බියක් ඇති කරගනිමින් මේ අවස්ථාවේදී වැඩි මිලට වාහන මිලදී ගැනීමට උත්සාහ නොකරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියා.

යමෙකු එලෙස කලබල වී වැඩි මිලට වාහන මිලදී ගතහොත්, ඔවුන්ට සිදු වන්නේද මීට පෙර විනිමය අනුපාතය රුපියල් 350 සීමාවට ඉහළ ගිය අවස්ථාවේදී වැඩි මිලට වාහන මිලදී ගත් පුද්ගලයන්ට අත් වූ ඉරණමම බවටද නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී අනතුරු ඇඟවීමක් කළා.

ආනයන සීමා කිරීම සාම්ප්‍රදායික සටන් පාඨයක් වුවද, එය ප්‍රායෝගික විසඳුමක් නොවන බව ඉතිහාසය පුරා සනාථ වී ඇති බව පෙන්වා දුන් ඔහු, 2021 වසරේදී වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර තිබියදී පවා රට දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ දුන් ආකාරය ද සිහිපත් කළා.

එමෙන්ම ඩොලර් රැකගැනීම සඳහා භාණ්ඩ වර්ග කරමින් ආනයන තහනම් කිරීම වතුර ටැංකියක් උතුරා යන විට යටින් බෝලයක් එබීම වැනි තාවකාලික ක්‍රියාවක් බවත්, ඉන් තවත් පැත්තකින් ගැටලුවක් මතුවන බවත් නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

වාහන වැනි භාණ්ඩවලින් රජයට 115% සිට 120% දක්වා ඉහළ බදු ආදායමක් ලැබෙන බැවින්, ආනයන සීමා කිරීමට වඩා රටේ පවතින මූල්‍ය ප්‍රතිපත්ති සහ පොලී අනුපාත උපයෝගී කරගනිමින් සමස්ත රුපියල් ඉල්ලුම පාලනය කිරීම වෙළෙඳපොළ ස්ථාවර කිරීමට ඇති නිවැරදිම මඟ බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: