hit counter

2026 අගෝස්‍තු මස 01 වන සෙනසුරාදා

2026 අගෝස්‍තු 02, පෙ.ව. 12:16



විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීම සඳහා රජය විසින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, මෙරට අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට එල්ල කරන බරපතල තර්ජනයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.

තම යූ ටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ, මෙම සංශෝධනය හුදු ප්‍රතිපත්තිමය තීරණයක් නොව, පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා සකස් කරන ලද්දක් බවයි.

විනිසුරුවරුන් අවුරුදු 67 දක්වා සේවය කිරීමේ වරදක් තමන් නොදකින නමුත්, දැනට සේවයේ නියුතු අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු පිරිසකගේ සේවා කාලය දීර්ඝ කිරීම සඳහා පමණක් මෙවැනි සංශෝධනයක් ගෙන ඒම සදාචාරාත්මක නොවන බව ඔහු පෙන්වා දෙයි.

රජයට හිතවත් හෝ රජයේ දේශපාලන ව්‍යාපෘතියට සහාය දක්වන පුද්ගලයන් තවදුරටත් තනතුරුවල රඳවා තබා ගැනීමට උත්සාහ කිරීම හරහා අධිකරණය කෙරෙහි පවතින මහජන විශ්වාසය බිඳ වැටෙන බව දේවසිරි මහතා පවසයි.

මෙම ක්‍රියාවලිය හරහා අධිකරණය දේශපාලනීකරණය වන බවට සමාජය තුළ ප්‍රබල මතයක් නිර්මාණය වන බවත්, එය විපක්ෂයට රජයට එරෙහිව භාවිතා කළ හැකි ප්‍රබල ‘සටන් පාඨයක්’ වන බවත් ඔහු සඳහන් කළේය. මින් ඉදිරියට අධිකරණය මගින් ලබා දෙන ඕනෑම තීන්දුවක් ‘දේශපාලන බලපෑම මත ලබා දුන් තීන්දුවක්’ ලෙස හංවඩු ගැසීමට මෙවැනි ක්‍රියාමාර්ග හේතු වන බව ඔහු අනතුරු ඇඟවීය.

පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට මරණ දඬුවම නියම වීම වැනි මෑතකාලීන අධිකරණ තීන්දු පිළිබඳව ද අදහස් දැක්වූ ආචාර්යවරයා, නීතිය ක්‍රියාත්මක වීමේදී පවතින පක්ෂග්‍රාහීත්වය පිළිබඳව සමාජය තුළ සැකයක් පවතින බව පැවසීය.

එක් පාර්ශවයක් මෙය යුක්තිය ඉටුවීමක් ලෙස දකින විට, තවත් පාර්ශවයක් මෙය දේශපාලන පලිගැනීමක් ලෙස දකින බවත්, විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම වැනි තීරණ මගින් මෙම සැකය තවදුරටත් තහවුරු වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

අධිකරණයේ ස්වාධීනත්වය යනු ප්‍රබල සමාජ කතිකාවක් බවත්, එය රැක ගැනීම රජයේ වගකීමක් බවත් දේවසිරි මහතා අවධාරණය කරයි.

යම් පුද්ගලයෙකු තනතුරේ රඳවා ගැනීමෙන් රජයට ලැබෙන කෙටි කාලීන වාසියට වඩා, එමගින් අධිකරණ පද්ධතියට සිදුවන දිගුකාලීන හානිය අතිවිශාල බව පවසන ඒ මහතා, මෙම ව්‍යවස්ථා සංශෝධනය වහාම අත්හිටුවිය යුතු බවට රජයට බලකර සිටියි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: