hit counter

2026 අගෝස්‍තු මස 06 වන බ්‍රහස්පතින්දා

2026 අගෝස්‍තු 06, පෙ.ව. 9:24



ගීත නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින OSPL සංවිධානය පිළිබඳව නිසි අවබෝධයකින් තොරව අසත්‍ය සහ අසාධාරණ චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති ජගත් වික්‍රමසිංහ මහතා වෙත ප්‍රවීණ ගායක හා සංගීතඥ කීර්ති පැස්කුවෙල් මහතා සිය කණගාටුව සහ විරෝධය පළ කළේය.

මාධ්‍ය සාකච්ඡාව අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ කීර්ති පැස්කුවෙල් මහතා මෙසේ සඳහන් කළේය.

“ඊයේ දවසේ ශ්‍රී ලංකාවේ ගායක ගායිකා සංගමයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවලා තිබුණා. ඒ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එහි සභාපති ජගත් වික්‍රමසිංහ මහත්මයා කෙළින්ම එල්ල කරන්නේ OSPL සංවිධානයේ වැඩමුළුව පිළිබඳවයි. නම කියන්න බය නැහැ, ඉතින් ඒවා ප්‍රසිද්ධ වෙලානේ තියෙන්නේ. එතුමා ඇත්තටම අද දවසේ මේ වැඩසටහනට සහභාගි වුණා නම්, OSPL සංවිධානය පිළිබඳව අවබෝධයක් ලබාගෙන එතුමාගේ තියෙන ඔය සිතුවිලි සියල්ලක්ම හකුලා ගන්නවා. පුංචි ළමයෙක් වගේ කිසිම අවබෝධයක් නැතුව තමයි අර කතාවල් ඔක්කොම කරන්නේ.”

ගායක ගායිකා සංගමයේ සභාපතිවරයා දැක්වූ අදහස් විවේචනය කරමින් ඔහු මෙසේ ද පැවසීය.

“එතුමා කතා කරන්නේ, ‘අනේ ලෙඩ්ඩු බලන්නකෝ, ලෙඩ්ඩුන්ට සින්දුවක් අහන්න තියෙන අවස්ථාව නැති කරනවා. හෝටල්, ආරෝග්‍යශාලාවල, ගුවන් තොටුපොළවල්වල සින්දු දාන්න බැරි වුණාම ඒ අහන සංගීතය නැති කරන්නනේ මේගොල්ලෝ හදන්නේ’ කියලා. මේකේ අනිත් පැත්ත කියන්නේ, ඒගොල්ලෝ සංගීත ශිල්පීන්ද කියලා හිතාගන්නත් බැරි තරමට. ඉතින් ඒ තරම් ද්වේෂ සහගත ලෙස මේ වැඩපිළිවෙලට විරුද්ධ වෙන්නේ ඇයි කියලා මට හිතාගන්න බැහැ. අපේ දරුවන්ගෙන්, මුණුබුරන්ගෙන් අහලා බැලුවත් ඒගොල්ලෝ මීට වඩා දන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් කිසිම අවබෝධයක් නැතුව තමයි මේ ගමන යන්නේ. ඉතින් ඒ පිළිබඳව අපිට කනගාටුයි.”
OSPL ආයතනයට එල්ල වූ චෝදනා සහ ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් කීර්ති පැස්කුවෙල් මහතා මෙසේ පැහැදිලි කළේය.

“ඒ වගේම කියනවා OSPL කියන්නේ නීති විරෝධී සංගමයක් කියලා. නීති විරෝධී ලෙස කෝටි ගණන් සල්ලි එකතු කරනවා කියලා. ඉතින් එහෙම කියන එක සම්පූර්ණ වැරදියි. මම හිතන්නේ ඒ පිළිබඳව නීතිමය පියවර ගන්න අපේ නීතිඥතුමා එකතු වෙලා මොනවා හරි පියවරක් ගත්තොත් හොඳයි කියන යෝජනාව මම කියනවා. මොකද ඒ තරම් අසාධාරණ ලෙස මෙවන් වැදගත් කර්තව්‍යයක් කරන ආයතනයක් පිළිබඳව කඩකප්පල්කාරී ලෙස, පහත් ලෙස කතා කිරීම වැරදියි. මමත් කලාකරුවෙක්, මම ගායකයෙක් වගේම සංගීතඥයෙක්. මම දෙපැත්තටම ආදරෙයි. නමුත් එහෙම අවබෝධයක් නැතුව කතා කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. නොදන්න තොත්ත බබෙක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ ජගත් වික්‍රමසිංහ මහත්මයාට.”
ගීත නිර්මාණකරුවන්ට සිදුවන අසාධාරණය සහ සාධාරණ කර්තෘ භාගය ලබාදීමේ වැඩපිළිවෙල පිළිබඳව පෙන්වා දෙමින් ඔහු මෙසේ ද කියා සිටියේය.

“මේ ගීත නිර්මාණය කරන කලා ශිල්පීන්ට කොයි තරම් අසාධාරණයක් සිද්ධ වෙනවාද? ගායකයන් ලක්ෂ ගණන් මුදල් හම්බ කරනවා, වේදිකාවට ගිහින් ගීත ගායනා කරනවා. ප්‍රසංගයකදී ගායකයෙක් වේදිකාවේ ගීත ගායනා කරනකොට ඔහු ගායනා කරපු ගීතයට තමයි රුපියල් දහදාහ, පන්දහස බැගින් ගන්නේ. නැතුව වෙනම ගන්නේ නැහැ. ඉතින් ඒක අසාධාරණද? මෙයා ගණන් හදන්නේ, ෂෝ එකකට දහදාහ ගානේ සින්දු 25කට ලක්ෂ දෙකාමාරයි, දවසකට ෂෝ 10ක් තිබ්බොත් ලක්ෂ 25යි කියලා කෝටි ගණන් හදලා පෙන්නනවා. ඒගොල්ලෝ සංගීතඥයන් නෙවෙයිද කියලා මට හිතෙනවා ඇත්තටම.”

ගීතයේ හිමිකාරිත්වය සහ OSPL වැඩසටහනේ වැදගත්කම අවධාරණය කරමින් කීර්ති පැස්කුවෙල් මහතා අවසාන වශයෙන් මෙසේ පැවසීය.

“මේ ගීතයක් නිර්මාණය කරන්න මූලික වෙච්ච ගීත රචකයාට, සංගීතඥයාට මේ තරම් අසාධාරණයක් වෙද්දී ඇයි මේ අය මේ විදියට හිතන්නේ කියලා මට හිතාගන්න බැහැ. ගීතයේ අයිතිය ඉල්ලගෙන තමයි ඒගොල්ලෝ යන්නේ. අවුරුදු තුනක් තිස්සේ ලංකාවේ තියෙන සියලුම රජයේ ආයතනවලට ගියා. තාමත් හම්බ වුණේ නැහැ. ඇයි? දෙන්නත් බැහැ, ගන්නත් බැහැ. මේ බොරු මිරිඟුවක් පස්සේ තමයි ඒගොල්ලෝ යන්නේ. නමුත් මට අද දවසේ මේ වැඩසටහනට සහභාගි වෙන්න ලැබීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. මොකද මේ වැඩපිළිවෙල අපේ ලංකාවට අත්‍යවශ්‍යම වැඩපිළිවෙලක්.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: