hit counter

2026 සැප්‍තැම්‍බර් මස 14 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12



ලෝක වෙළෙඳපොළේ බලශක්ති මිල ගණන් වේගයෙන් ඉහළ යාම නිසා ශ්‍රී ලංකාව වැනි බලශක්ති ආනයනය කරන රටක ආනයන වියදම් වේගයෙන් ඉහළ යා හැකි බවත්, භූ දේශපාලනික ආතතීන් හේතුවෙන් සංචාරක ආදායම් ඇතුළු විදේශ විනිමය ආදායම්වලටද බලපෑම් ඇතිවිය හැකි බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අනතුරු අඟවයි.

විදේශ සංචිත යනු රජයට හෝ මහ බැංකුවට අයත් සම්පතක් නොව සමස්ත ජාතියේ ඉතුරුම් බැවින් ඒවා කළමනාකරණය කිරීම මහ බැංකු සතු විශාල වගකීමක් බවද ඔහු කීවේය.

කෘත්‍රිම බුද්ධිය මගින් මහ බැංකු නිලධාරීන්ගේ තීරණ ගැනීමේ හැකියාව වැඩිදියුණු කළ යුතු නමුත් වගකීම මිනිසුන් සතුවම පැවැතිය යුතු බවද ඔහු පැවසීය.

කොළඹදී ආරම්භ වූ විදෙස් සංචිත කළමනාකරුවන්ගේ සමුළුවේදී ඔහු මේ බව කියා සිටියේය. 

භූ දේශපාලනික බෙදීම්, උපායමාර්ගික තරගකාරීත්වය, වෙළෙඳ ආතතීන්, සම්බාධක, ජාත්‍යන්තර මූල්‍ය පද්ධතියේ බෙදීම්, භාණ්ඩ මිලෙහි අස්ථාවරත්වය, පොලී අනුපාත චක්‍රවල වෙනස්වීම් සහ වේගවත් තාක්ෂණික පරිවර්තනය හේතුවෙන් අද වන විට විදේශ සංචිත කළමනාකරණය වඩාත් සංකීර්ණ වී ඇති බවද මහ බැංකු අධිපතිවරයා කීවේය.

එක් රටක ඇතිවන ගැටුමක් ලෝකයේ බලශක්ති මිල ගණන් කෙරෙහි බලපෑම් එල්ල කළ හැකි බවත් ප්‍රධාන නාවික මාර්ගයක සිදුවන බාධාවක් තවත් කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි රටක උද්ධමනයට බලපෑම් කළ හැකි බවත් ඔහු පවසා සිටියේය.

ශ්‍රී ලංකාව, ආර්ථික අර්බුදයෙන් පසුව සාර්ව ආර්ථික මූල්‍ය ස්ථාවරකරණ සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ විදේශ අංශය සැලකිය යුතු ලෙස ශක්තිමත් වී ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීවේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: