hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 11:45



දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පී යුවළක් වන සූරියා සහ ජ්‍යෝතිකා සිය 20 වසරක විවාහ ජීවිතය සමරමින් යළිත් විවාහ පොරොන්දු අලුත් කරගෙන තිබේ. ක්‍රිස්තියානි විවාහ උත්සවයක් ලෙස පැවැත්වුණු මෙම අවස්ථාවට ඔවුන්ගේ දරුවන් වන දියා සහ දේව් මෙන්ම සූරියාගේ සහෝදරයා වන නළු කාර්ති ඇතුළු පවුලේ සාමාජිකයන් සහ සමීප මිතුරන් පිරිසක් සහභාගී වී තිබේ.

මෙම විශේෂ අවස්ථාවේ ඡායාරූප සහ වීඩියෝ කිහිපයක් ජ්‍යෝතිකා සිය Instagram ගිණුම ඔස්සේ බෙදාගෙන ඇත.

එක් වීඩියෝවක ජ්‍යෝතිකා සිය පුත් දේව් සමඟ විවාහ මංගල්‍යයේ ගමන් මාර්ගය ඔස්සේ පැමිණෙන අතර, ඔවුන්ගේ දියණිය දියා සූරියා අසල සිටින ආකාරය දැකගත හැකිය.

උත්සවය අතරතුර සූරියා සහ ජ්‍යෝතිකා යළිත් විවාහ පොරොන්දු හුවමාරු කරගෙන ඇති අතර, එම අවස්ථාවේදී දෙදෙනාම සංවේදී වූ බව වීඩියෝ දර්ශනවලින් දැකගත හැකිය. ඔවුන්ගේ ‘සුදු විවාහය’ (white wedding) ආශ්‍රිත ඡායාරූප කිහිපයක්ද එම වීඩියෝවට ඇතුළත් කර තිබේ.

ඡායාරූප සහ වීඩියෝ බෙදාගනිමින් ජ්‍යෝතිකා සඳහන් කර ඇත්තේ, මෙම අවස්ථාව ඔවුන්ගේ ආදරය, අරගල, අසම්පූර්ණකම්, එකිනෙකාට අනුගත වීම්, අවබෝධය සහ කැපකිරීම් ඇතුළත් වසර 20ක ගමන සැමරීමක් බවයි.

“ද සීක්වල්” (The Sequel) ලෙස නම් කරමින් ඇය පළ කළ සටහනේ, මෙය පරිපූර්ණ විවාහයක් සැමරීමක් නොවන බවත්, අසම්පූර්ණකම් මධ්‍යයේ එකිනෙකා තේරුම් ගනිමින් සහ කොන්දේසි විරහිතව ආදරය කරමින් ගොඩනඟා ගත් සම්බන්ධතාව සැමරීමක් බවත් සඳහන් කර තිබේ.

තම විවාහය සහ පවුල් ජීවිතය පිළිබඳව දීර්ඝ සටහනක් තබමින් ජ්‍යෝතිකා පවසා ඇත්තේ, කලක් යථාර්ථයෙන් බොහෝ දුරස් වූ සිහිනයක් ලෙස හැඟුණු මෙම අවස්ථාව දැන් සැබෑවක් වී ඇති බවයි. ජීවිතයේ ධනාත්මක පැත්ත දැකීමට තෝරා ගන්නා බැවින් සතුටින් සිටීමටත්, ජීවිතය සැමරීමටත් තමන් ප්‍රතිඥා දෙන බව ඇය සඳහන් කර ඇත.

තමන්ට ගෞරව කරන සහ තමන්ව ආරක්ෂා කරන පුද්ගලයකු සමඟ ජීවිතය බෙදා ගැනීම විශාල ත්‍යාගයක් බවද ඇය පවසා තිබේ. ජීවිතයේ පවතින අසම්පූර්ණකම් පිළිබඳවද අදහස් දක්වමින් ජ්‍යෝතිකා සඳහන් කර ඇත්තේ, සෑම දෙයකම යම් අඩුපාඩුවක් තිබිය හැකි බැවින් වැදගත් වන්නේ එම හිඩැස් පුරවා ගැනීමට අප තෝරා ගන්නා ආකාරය බවයි.

තම සැමියා සහ දරුවන් වෙනුවෙන්ද ඇය සිය කෘතඥතාව පළ කර තිබේ. සෑම උදෑසනකම තමන්ව ආරක්ෂා කරන පුද්ගලයකු සමඟ අවදි වීමට ලැබීමත්, ජීවිතයට අර්ථයක් සහ ජීවත් වීමට හේතුවක් ලබාදුන් තම දරුවන් සිටීමත් තමන්ට විශාල ආශීර්වාදයක් බව ඇය සඳහන් කර ඇත. සෞඛ්‍යය තමන් ගොඩනඟා ගත හැකි වැදගත්ම වත්කමක් බව පවසන ජ්‍යෝතිකා, නිරෝගීව සිටීමටද ප්‍රතිඥා දී තිබේ.

මව්පදවිය පිළිබඳව අදහස් දක්වමින් ඇය සඳහන් කර ඇත්තේ, හොඳම මවක් වීම යනු ආහාර පිසීම, නිවස පිරිසිදු කිරීම හෝ දරුවන්ට උපකාර කිරීම පමණක් නොවන බවයි. තම සිනහව සහ තමන්ගේ ජීවන ආකාරය තුළින් දරුවන්ට ඔවුන්ගේ මව්පියන්ගේ ආදර කතාව අගය කිරීමට හැකි වීම තමන්ට වැදගත් බවද ඇය පවසා තිබේ.

සූරියා අමතමින් ජ්‍යෝතිකා අවසානයේ සඳහන් කර ඇත්තේ, ඔහු සමඟ රණ්ඩු වී යළි සමගි වෙමින්, එම ක්‍රියාවලිය හරහා තව තවත් සමීප වන “අසම්පූර්ණ බිරිඳ” ලෙසම සැමදා සිටීමට තමන් ප්‍රතිඥා දෙන බවයි.

සූරියා සහ ජ්‍යෝතිකා 2006 වසරේදී විවාහ වූ අතර, වසර 20කට ආසන්න කාලයක් පුරා සිනමා ක්ෂේත්‍රයේ අවධානය දිනාගත් යුවළක් ලෙස ඔවුන් සැලකේ.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: