hit counter

2026 සැප්‍තැම්‍බර් මස 21 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 22, පෙ.ව. 12:19



වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට එල්ල වන විවේචන සහ චෝදනා ඉහළ ගොස් ඇති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ජන්ම දිනයට සමගාමීව පැවති දානමය පිංකමකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

කුඩා වියේදී පැවිදි දිවියට ඇතුළත් වන භික්ෂූන් වහන්සේලා වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ අනුශාසනා සහ දැඩි විනය මධ්‍යයේ හැදී වැඩෙන බව උන්වහන්සේ පෙන්වා දුන්නා.

එමෙන්ම භික්ෂූන් වහන්සේලාට අසනීපයක් හෝ වෙනත් අවශ්‍යතාවක් ඇති වූ අවස්ථාවලදී මව්පියන් මෙන් රැකබලා ගන්නේ දායක දායිකාවන් බවද සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළා.

කුඩා භික්ෂූන් වහන්සේලා පැවිදි කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් මානව හිමිකම් සහ හිංසනය වැනි කරුණු මතු කරන බවත්, වර්තමානයේ භික්ෂූන් වහන්සේලාට සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වන බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

බුදු දහම, සංස්කෘතිය සහ සිංහල සමාජයේ සම්ප්‍රදායන් රැක ගැනීම සඳහා සංඝ සමාජය ඉතිහාසය පුරා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවද උන්වහන්සේ කියා සිටියා.

කෙසේ වෙතත්, ශාසනික ගැටලු සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේලා සාමූහිකව මැදිහත්විය යුතු අවස්ථා පවතින බවද පැවසුවා.

ඉතිහාසයේ රජවරුන්ට අධ්‍යාපනය ලබාදීම සහ රටේ පාලන කටයුතු සඳහා බලපෑම් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන්ද භික්ෂූන් වහන්සේලාට විශාල කාර්යභාරයක් පැවති බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ,

“හාමුදුරුවරුන්ට දැන් තරම් බනින කාලයක් කොහෙවත් නෑ. අපි අවුරුදු 9 යෙන් තමයි මහණ වෙන්නේ. ඊට පස්සේ අපි ලොකු හාමුදුරුවෝ ගාව හැදෙන්නේ. ලොකු හාමුදුරුවන්ගේ වේවැල් කසාය වෙලාවකට. වෙලවකට ගෙරවිලි හඬ, සැර කිරීම් ඒ සියල්ල මධ්‍යයේ තමයි අපි හැදෙන්නේ. අපිට ආදරේ කරුණාව දෙන්නේ මේ අම්මලා, තාත්තලා මේ ආදරණීය දායක දායිකාවෝ තමයි අපේ අම්මා තාත්තා. අපිට ලෙඩක් වුනාම අම්මා හොයාගෙන ගමේ යන්න බෑ. අපිව බලාගන්නෙ දායකයෝ. ඒක නිසා පුංචි හාමුදුරුවරු මහණ කරනකොට එක එකා මානව හිමිකම් කියයි, හිංසාව කියලා කියයි, එක එකා නොයෙක් කතා කියයි. හාමුදුරුවෝ තරම් මේ කාලේ බැනුම් අහන අය ලෝකේ ලොහෙවත් නෑ. youtube එකට ගියොත් හාමුදුරු කෙනෙකුට බනිනවා. හාමුදුරුවරුන්ට බනින්නේ. ඇයි මේ? සංඝ සමාජය තමයි මේ බුදු දහමත්, සංස්කෘතියත්, සිංහලකමත් සියල්ල රැක ගෙනාවේ මේ සංඝ සමාජය විසින්. ඒක නිසා මේ සංඝ සමාජය විනාශ කළොත් මේ සංස්කෘතිය එතනින් නවතිනවා. ඒක නිසා තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේක විනාශ කරලා දාන්න. අපේ හාමුදුරුවරුත් වැරදියි. එහා වත්තට හෙන ගැහුවම අපිට හෙන ගහන්නේ නෑ වගේත් ඉන්නවා හාමුදුරුවෝ. ඒක නිසා ඒවට උත්තරයක් නෑ. ඒක නිසා හාමුදුරුවරු එකතුවෙලා උත්තර දෙන්න ඕන තැන් තියෙනවා. හැම තැනකම නෙවෙයි, සමහර තැන් තියෙන ශාසනික ප්‍රශ්නවලදී ඒවට මැදිහත් වෙන්න ඕන හාමුදුරුවෝ. එහෙම මැදිහත් වෙන්නෙත් නැහැ. මොකද අපි රජවරු තැනුවේ, රජවරුන්ට ඉගැන්නුවේ, රජවරු බිහි කළේ හාමුදුරුවරු මේ රටේ. ඒ තරම් මේ චීවරයට තියෙන බලය.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: