hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:13



ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ ගෞරවය, පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ජාතික මාධ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අවධාරණය කර ඇති බව සඳහන්.

මේ පිළිබඳව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් ඉකුත් (22) දින පාර්ලිමේන්තුවේදී රැස් වූ කාරක සභාවේදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව මුද්‍රිත, විද්‍යුත් සහ සමාජ මාධ්‍ය හරහා ළමයින් සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී ඔවුන්ගේ උපරිම යහපත සැලසීම, සත්‍යතාව සහ සාධාරණත්වය ආරක්ෂා කිරීම මෙන්ම ළමයින් හා ඔවුන්ගේ පවුල් අනවශ්‍ය ආකාරයට නිරාවරණය වීම වැළැක්වීම මෙම මාර්ගෝපදේශ සංග්‍රහයේ ප්‍රධාන අරමුණු වශයෙන් හඳුනාගෙන ඇත.

එසේම ආබාධිත දරුවන් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාකරණයේදී ඔවුන්ගේ ගෞරවය සහ අයිතිවාසිකම් ආරක්ෂා වන ලෙස කටයුතු කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කර ඇත.

තවද දෙමළ භාෂාව කතා කරන ප්‍රදේශවල කාන්තා සහ ළමා ඒකක ශක්තිමත් කිරීමට දෙමළ භාෂාව හැසිරවිය හැකි කාන්තා පොලිස් නිලධාරිනියන් බඳවා ගැනීම සහ පුහුණු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබෙනවා.

එහි අරමුණ නම් යාපනය ඇතුළු ප්‍රදේශවල කාන්තාවන්ට සහ ළමයින්ට තම පැමිණිලි ඉදිරිපත් කිරීමේදී පවතින භාෂාමය අපහසුතා මගහරවා ගැනීමයි. තවද දිවයින පුරා පවතින ළමා නිවාස පාලනය සහ අධීක්ෂණය විධිමත් කිරීමට මධ්‍යගත තොරතුරු පද්ධතියක් හඳුන්වා දීමේ අවශ්‍යතාව ද කාරක සභාවේදී අවධානයට ලක් ව ඇත.

එසේම දරුවන්ට සිදු වන හිංසන වැළැක්වීමට එම ආයතනවල කළමනාකාරීත්වයේ වගකීම තහවුරු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී කාරක සභාවෙන් පෙන්වා දී තිබෙනවා.

ඊට අමතරව වයස අවුරුදු පහට අඩු දරුවන් සිටින මව්වරුන් විදේශ රැකියා සඳහා පිටත් වීම සම්බන්ධයෙන් පවතින කරුණු පිළිබඳව ද සාකච්ඡා වූ අතර, ඒ සම්බන්ධයෙන් තාක්ෂණික කමිටුවක් මඟින් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව වාර්තා වේ. එමෙන්ම විදේශ රැකියාවල නිරත කාන්තාවන්ගේ දරුවන් සඳහා අධ්‍යාපනික වියදම් ප්‍රතිපූරණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද අවධානය යොමු ව ඇත.

එසේම 2027 වසර වන විට සියලු පෙර පාසල් සඳහා පොදු ප්‍රමිතීන් හඳුන්වා දීම, පෙර පාසල් ගුරුවරුන් සඳහා පොදු පුහුණු හා සහතික ක්‍රමවේදයක් ඇති කිරීම සහ පෙර පාසල්වල පවතින යටිතල පහසුකම්වල ගැටලු විසඳීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.

ළමා අපයෝජන නඩු විභාග කිරීමේදී පවතින ප්‍රමාදයන් අවම කිරීමට අධිකරණ වෛද්‍ය වාර්තා සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබා දීම කඩිනම් කිරීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩල හිඟයට විසඳුම් ලබා දීම සහ ළමා අපයෝජන නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමුව ඇත.

තවද ළමයින්ට සිදු කරන ශාරීරික දණ්ඩනය නීතියෙන් තහනම් කිරීමට අවශ්‍ය නීතිමය සංශෝධන පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර ඇත.

මෙයට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා ඇතුළු නියෝජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: