hit counter

2026 සැප්‍තැම්‍බර් මස 24 වන බ්‍රහස්පතින්දා

2026 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:20



හිටපු ජේෂ්ඨ්‍ය නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියන නම තාමත් මිනිස්සුන්ගේ හදවතේ තියෙන්නේ ඔහු සේවය කරන කාලේ මිනිස්සු වෙනුවෙන්ම සේවය කරපු නිසා කියන්න අමුතුවෙන් කිව යුතු කාරණාවක් නෙවෙයි. ඔහු ගැන NAS News පළ කරපු සටහනක තොරතුරු මෙලෙස සටහන් කර තිබුණා. අජිත් රෝහණ මහත්තයාගේ උපන්ගම වුණේ කොස්ගම කනම්පැල්ල කියන හරිම සුන්දර ගම. ඔහු මූලික අධ්‍යාපනය ලැබුවේ කනම්පැල්ල විද්‍යාලයෙන් ඊටපස්සේ තමයි කොළඹ ආනන්දෙට ගිහින් තියෙන්නේ. ඒ දවස්වල ඔහුගේ එකම හීනය වෙලා තිබුණේ කවදාහරි දොස්තර කෙනෙක් වෙලා ජනතාවට සේවය කරන්න. ඒත් එක එක හේතු නිසා ඒ සිහිනය බොඳවෙලා ගියත් එයා අධෛර්යමත් වුණේ නැ. 1988දී ඔහු ශ්‍රී ලංකා පොලීසියට බැඳුණා. හිතලා බලන්නකෝ… වයස අවුරුදු 22දී ගාල්ලේ වඳුරඹ පොලීසියේ OIC වුණා කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයිනේ.. එතකොට ඒ පොලීසියේ හිටපු නිලධාරීන් 21 දෙනාගෙන්ම ලාබාලම එක්කෙනා එයා. ඒත් ඔහු ඒ භාරදූර අභියෝගය සාර්ථකව ජය ගත්තා. එක පැත්තකින් රාජකාරි කරන ගමන් සහකාර පොලිස් අධිකාරී විභාගයෙන් මුළු ලංකාවෙන්ම පළමුවැනියා වෙන්නත්, නීතිවේදී උපාධිය අරන් නීතිඥයෙක් වෙන්නත් ඔහුට පුළුවන් වුණා.

අජිත් රෝහණයන්ට අවුරුදු 38ක සේවා කාලය කියන්නේ ඇත්තටම ජීවිතයත් ම රණයත් අතර සටනක් වෙන්න ඇති. 2000 අවුරුද්දේ සැප්තැම්බර් 30 වෙනිදා එරාවුර්වල රාජකාරි කරද්දී, ඔහු ගිය පොලිස් ජීප් එකේ කැසට් පටිය හිරවෙලා තියෙනවා. එකපාරටම වාහනෙන් බැහැලා පිටිපස්සෙන් ආපු තැපැල් වාහනයට නැගලා. නැගලා තත්පර 45ක් යන්න හම්බුණේ නැ, LTTE එකෙන් ඉදිරියෙන් ගිය පොලිස් ජීප් එකට දරුණු බෝ ම් බ ප්‍ර හාරයක් එල්ල කළා. එදා ඒ කැසට් පටිය හිරවුණේ නැත්නම් අද අජිත් රෝහණ කියලා කෙනෙක් ජීවතුන් අතර නැති වෙන්න තිබුණා.

ඊටපස්සේ 2020 කොවිඩ් කාලේ… දවසට නිදාගෙන තියෙන්නේ පැය එකහමාරයි නැත්නම් දෙකයි. පාන්දර 3ට නැගිටලා මුළු ලංකාවේම විස්තර සොයාගෙන, උදේ 6 වෙද්දී මාධ්‍ය ඉදිරියට ආවා. හැබැයි ඔහු ජනතාව අතර ජනප්‍රිය වෙද්දී, ඒකට කැමති නැති ප්‍රබල දේශපාලනඥයෙක් එයාව හදිස්සියේම ඒ තනතුරෙන් අයින් කරනවා.ඒත් දින කීපයකින් සමාජ මාධ්‍ය හරහා විශාල මහජන විරෝධයක් ආපු නිසා නැවත ඔහුට ඒ තනතුර දෙන්න සිද්ධ වුණා. ඔහු හරි ආදරෙන් මතක් කරනවා, තාත්තා පුංචි කාලේ කියලා තියෙන්නේ, ‘පුතේ, ඵල ඇති රුකටයි මිනිස්සු ගල් ගහන්නේ’ කියලා. අන්තර්ජාලයේ ඔහුට කොච්චර මඩ ගැ හුවත්, කාටුන් ඇන්දත්, පෙත්තප්පු, ගිරවා කියලා නම් පටබැඳල විහිළු කළත් ඔහු ඒ කිසිම දේකට කේන්ති ගත්තේ නැ.

ඔහු විශ්‍රාම යනකොට ආරක්ෂක ලේකම්තුමා පවා පෞද්ගලිකව කතා කරලා කිව්වා සේවා දිගුවක් අරන් තව ඉන්න කියලා යෝජනා කළා. ඒත් වයස 60 සම්පූර්ණ වුණාම ගෞරවාන්විතව යන්න ඕනේ කියන ප්‍රතිපත්තියේ ඔහු හිටියා. ඔහු තව හිටියොත් ඔහුට පහළින් ඉන්න දක්ෂ නිලධාරියෙකුගේ උසස්වීම අහිමි වෙන නිසයි ඔහු එහෙම කළේ. හැමවිටම බැලුවේ පාරේ අව්වේ වැස්සේ දුක් විඳින සාමාන්‍ය කොස්තාපල්වරයාගේ සිට පහළ නිලධාරීන්ගේ සුබසාධනය ගැනයි. වයඹ පළාතේ පොලිස් ස්ථාන 69ම පහසුකම් දියුණු කළා. අජිත් රෝහණයන්ගේ සේවා කාලය තුළ 600 වතාවකට වඩා උසාවි ගිහින්, බරපතළ අ පරාධකාරයින් 20 දෙනෙකුට ආසන්න ගණනකට එල්ලුම් ගහ නියම කරවන්න මූලික වෙලා තියෙනවා.

දැන් ගොඩක් අය එයාගෙන් අහන්නේ ඉදිරියට දේශපාලනයට එනවද කියලයි. ඔහු හරිම පැහැදිලිව කියන්නේ , කිසිම දේශපාලන බලාපොරොත්තුවක් නැ කියලා. ඔහුට ඕනේ ඔහුගේ නීති දැනුමෙන් ඉදිරියටත් නීතිඥයෙක් විදිහට සමාජයට වැඩක් කරන්න සහ අසාධාරණයට ලක්වෙන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටින්න විතරයි. ඇත්තටම අජිත් රෝහණ කියන්නේ පොලිස් ඉතිහාසයේ නොමැකෙන සලකුණක් තිබ්බ චරිතයක්. පහුගියදා ඔහු සේවයෙන් විශ්‍රාම ගියත් ඔහු කිසිම හස්තයකට යටත් නොවී රාජකාරි කළ අභීත පොලිස් නිලධාරියෙක් ලෙස මිනිස්සුන්ගේ හදවතේ තාමත් පැළපදියම් වෙලා තියෙන්නේ අන්න ඒ නිසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: