hit counter

2026 සැප්‍තැම්‍බර් මස 30 වන බදාදා

2026 ඔක්‍තෝබර් 01, පෙ.ව. 12:07



මෑත කාලයේ අපේ රටේ ඉන්න නිළියන් අතුරින් ජනප්‍රිය නිළියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. 2016 වසරේ ‘පාටක් නැති ආදරයක්’ චිත්‍රපටය හරහා රංගන ක්ෂේත්‍රයට පිවිසුණු ඇගේ රංගන දිවියට මේ වසරට වසර 10 ක් සපිරෙනවා. ඒ දසවසර පුරාවට චතූ තමන්ගේ ජනප්‍රියත්වය එකම මට්ටමෙන් පවත්වාගෙන එන්නත් සමත්වුණු නිළියක්. මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ ‘මීෂා’ ටෙලි නාට්‍යයෙන් දකින්න ලැබෙන චතූ, කලක පටන් දැකපු සිහිනයකුත් ඔන්න ළඟදීම සැබෑවෙන්න යනවලු. ඒ ගැන ඇය පුවත්පත් සාකච්ජාවකට එක්වෙමින් සඳහන් කළේ මෙහෙමයි.

අපි ‘මීෂා’ ටෙලි නාට්‍යයෙන්ම මේ කතාබහ ආරම්භ කරමු නේද?

ඔව්, මේ දිනවල මම රංගනයෙන් දායකවෙන අලුත් ටෙලි නාට්‍යය තමයි ‘මීෂා’. ඒක නිවන්ත ප්‍රසාරගේ නිර්මාණයක්. ස්වාධීන රූපවාහිනී නාලිකාවේ විකාශනය වන එහි කොටස් 50කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොටත් පෙන්නලා අවසන්.

ඉදිරියේදි ඔබව දකින්න ලැබෙන වෙනත් නිර්මාණ මොනවද?

සිනමාව පැත්තෙන් ගත්තොත් දැනට වී. සිවදාසන් මහතා අධ්‍යක්ෂණය කළ ‘දූවිලි දරුවෝ’ චිත්‍රපටය සහ තවත් චිත්‍රපටයක වැඩ අවසන් වෙලා තියෙනවා. ටෙලි නාට්‍ය පැත්‍තෙන් ගත්තමත් දැනට ටෙලි නාට්‍ය කීපයකම වැඩකටයුතු කරගෙන යනවා. එයින් එක ටෙලි නාට්‍යයක රූගතකිරීම් මේ වෙනකොට ඩුබායිවල වෙනවා. ඒක ප්‍රගීත් මනියංගම අයියා අධ්‍යක්ෂණය කරන අලුත්ම ටෙලි නාට්‍යය. ඒ වගේම මං හරිම ආසාවෙන් භාරගත්ත නිර්මාණයක් තමයි ‘රිදී’ ටෙලි නාට්‍යය. මොකද ඒ ටෙලි නාට්‍යය හරහා මට කාලයක ඉඳන් දැකපු සිහිනයක් සැබෑ කරගන්න අවස්ථාවක් උදාවුණා.

‘රිදී’ ටෙලි නාට්‍යය හරහා සැබෑ වෙන චතූගේ සිහිනය මොකක්ද?

මං රෙද්ද හැට්ටේ ඇඳලා ගැමි චරිතයක් කරන්න ලොකු ආසාවකින් හිටියා. ඒත් ගෙවුණු අවුරුදු 10 පුරාවටම මට එහෙම චරිතයකට ආරාධනා ලැබුණේ නෑ. ඒත් ‘රිදී’ ටෙලිනාට්‍යයේ මට ඒ අවස්ථාව ලැබුණා. මේ වෙලාවේ මං ඒක අධ්‍යක්ෂණය කරන චන්දන ඉරුගල්බණ්ඩාර අයියා, තිර රචනය කරපු අරුණ ප්‍රේමරත්න අයියා සහ නිෂ්පාදක අංජුල අමරසිංහ අයියා මතක් කරනවා. මේ වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට නිර්දේශ වූ රන්දික කඩවතආරච්චිගේ ‘රිදී’ නවකතාව ඇසුරෙන් ඒ ටෙලි නාට්‍යය නිර්මාණය වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: