hit counter

2026 ඔක්‍තෝබර් මස 02 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:15



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංක තහඩු සහ රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයට බලපා ඇති කරුණු සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස යටිතල පහසුකම් හා උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ප්‍රමාදය ආරම්භ වූ ආකාරය, ඊට බලපා ඇති පරිපාලනමය හා තාක්ෂණික කරුණු මෙන්ම අදාළ ටෙන්ඩර් සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් දින 45ක් ඇතුළත ඉදිරිපත් කරන ලෙස කාරක සභාව නිලධාරීන්ට දැනුම් දී ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා පැවති කාරක සභා රැස්වීමේදී මෙම උපදෙස් ලබාදී තිබේ. අංක තහඩු නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු විමසූ අවස්ථාවේදී, ඊට හේතු, ප්‍රමාදය ආරම්භ වූ අවස්ථාව, ඒ සම්බන්ධයෙන් ගත් පියවර සහ අදාළ ටෙන්ඩර් හා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කාරක සභාව උපදෙස් ලබා දී ඇත.

මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කර ඇත්තේ 2026 මාර්තු 10 වැනිදායින් පසු ලියාපදිංචි කළ වාහන සඳහා දින 14ක් ඇතුළත අංක තහඩු ලබාදීම ආරම්භ කර ඇති බවයි. මේ අතර, රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන්ද කාරක සභාවේදී සාකච්ඡා වී තිබේ.

දැනට මුද්‍රණය කිරීමට පවතින රියදුරු බලපත්‍ර සංඛ්‍යාව 678,000ක් පමණ වන අතර, දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 4,600ක් පමණක් වීම හේතුවෙන් පසුබෑම තවදුරටත් ඉහළ යමින් පවතින බව නිලධාරීන් සඳහන් කර ඇත.

මෙම තත්ත්වය කඩිනමින් විසඳීම සඳහා ඔක්තෝබර් 15 වැනිදා වන විට නව මුද්‍රණ යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර, දෛනික මුද්‍රණ ධාරිතාව බලපත්‍ර 8,200ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවද නිලධාරීන් පවසා තිබේ.

මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවද කාරක සභාව අවධාරණය කර ඇත.

එමෙන්ම, ඉදිරියේදී මෙවැනි ප්‍රමාදයන් ඇති නොවීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම, දෙපාර්තමේන්තුවේ පරිපාලන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම, පුරප්පාඩු පිරවීම සහ ප්‍රසම්පාදන කටයුතු කඩිනම් කිරීම පිළිබඳවද කාරක සභාව කරුණු විමසා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: