2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:15
2027 වසරේ සිට 6 ශ්‍රේණියට නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය. ඒ අනුව 6 ශ්‍රේණියේදී ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාවය පිළිබඳව නව විෂයක් හඳුන්වාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී පැවැති කොළඹ කොටස් හුවමාරුවේ (CSE) 40 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.
රජය විසින් ගනු ලැබූ සාධනීය ක්‍රියාමාර්ග හේතුවෙන් මීට පෙර 35%ක්ව පැවති මෙරට මූල්‍ය සාක්ෂරතාවය 58% දක්වා වැඩි කිරීමට හැකි වූ බවත්, එය රටක් ලෙස ලැබූ විශාල ජයග්‍රහණයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
රජයේ ප්‍රධාන අරමුණ වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” නිර්මාණය කිරීම තුළින්, ආර්ථික වශයෙන් ශක්තිමත් පරිසරයක සෑම පුරවැසියෙකුටම ගෞරවනීය, සුරක්ෂිත මෙන්ම සතුටින් ජීවත් විය හැකි පසුබිම සකස් වන බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
කොළඹ කොටස් වෙළඳපොළේ 40 වන සංවත්සරය සැමරීම, මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම සහ “Stock Market Game” වැඩසටහන දියත් කිරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී, 40 වන සංවත්සර සමරු කවරය සහ මුද්දරය එළිදැක්වීමද සිදු කෙරිණි. එසේම, වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භ කිරීම සනිටුහන් කරමින් අග්‍රාමාත්‍යතුමිය විසින් සීනුව නාද කරන ලදී.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.
අපට අවශ්‍ය කරන්නේ මුදල් සහ මූල්‍ය පද්ධතිය ගැන දැනුම සමාජයේ සීමිත පිරිසකට විතරක් සීමා වෙච්ච රටක් නෙමෙයි. රටේ සෑම පුරවැසියෙකුටම තමන් උපයන මුදල නිවැරදිව කළමනාකරණය කරගන්න, නිසි ලෙස ඉතිරි කරන්න, අවදානම් තේරුම් අරගෙන ආයෝජනය කරන්න, ඒ වගේම වංචාකාරී මූල්‍ය ජාවාරම්වලට අසු නොවී සිටින්න පුළුවන් දැනුවත්භාවයක් ලබාදීමයි අපේ අරමුණ.
විශේෂයෙන්ම, අපේ අනාගතය භාරගන්න ඉන්න පාසල් දරුවන් වෙනුවෙන් අපි විශාල ආයෝජනයක් කරනවා. ඒ නිසාම, නව විෂය මාලා සංශෝධන යටතේ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා “ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව” නමින් නව විෂය ක්ෂේත්‍රයක් හඳුන්වා දෙන්න අපි කටයුතු කරගෙන යනවා.
ඒ වගේම අද දියත් කෙරෙන “Stock Market Game” සහ පාසල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම් වැනි ප්‍රායෝගික වැඩසටහන් හරහා දරුවන්ට සහ තරුණ පරපුරට කුඩා අවදියේ සිටම ව්‍යවසායකත්වය සහ ආයෝජනය ගැන නිවැරදි අවබෝධයක් ලබාදෙන්න පුළුවන් වෙනවා.
කොළඹ කොටස් හුවමාරුවේ 40 වැනි සංවත්සරය සමරන මේ මොහොතේ, දිවයින පුරා ශාඛා 13ක් දක්වා පුළුල් කරමින් ජනතාව අතරට මූල්‍ය දැනුම ගෙන යන්න දරන උත්සාහය රජයක් විදිහට අපි අගය කරනවා.
සාම්ප්‍රදායික ඉතුරුම් ක්‍රමවලින් ඔබ්බට ගිහින්, රටේ ප්‍රාග්ධන වෙළෙඳපොළ ශක්තිමත් කරන්නත්, තරුණ පරපුරට නව ආයෝජන අවස්ථා නිර්මාණය කරලා දෙන්නත් අපි කැපවී සිටිනවා.
අපේ දරුවන්ට මම කියන්නේ වෙනස් විදිහට හිතන්න. අවස්ථා එනකම් බලා ඉන්නේ නැතුව, නව අවස්ථා සොයන්න, අවස්ථා නිර්මාණය කරන්න. විභාගයකට ලකුණු ගන්න විතරක් නෙමෙයි, ජීවිත කාලයටම උපකාරී වෙන නිවැරදි මූල්‍ය පරිශීලනයක් සමාජය තුළ ගොඩනඟන්න එකතු වෙන්න. යනුවෙන් පැවසීය.
මෙම අවස්ථාව සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ හි ප්‍රධාන විධායක නිලධාරී රජිව බණ්ඩාරනායක මහතා ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඩී.බී.පී.එච්. දිසාබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:18
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:17
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:12
2026 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:09
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
06-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26
05-10-26