hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:28



ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූන් පවත්වන විරෝධතා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස කියාසිටියේ, නීතිය සැමට සාධාරණව සහ සමානව ක්‍රියාත්මක කිරීම සඳහා රජය කැපවී සිටින බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහණයට සහ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ලැබීමට ප්‍රධාන හේතුවක් වූයේ පෙර පැවැති පාලනයන් යටතේ නීතිය අසමාන ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳව මහජනතාව තුළ පැවැති අප්‍රසාදය බව භික්ෂූන්ගේ ඉල්ලීම් පිළිබඳව නැඟුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසීය.

සාමාන්‍ය ජනතාවට සහ දේශපාලන බලය හෝ බලපෑම් කළ හැකි තනතුරු දරන පුද්ගලයන්ට නීතිය විවිධ අයුරින් ක්‍රියාත්මක වන ආකාරය අතීතයේදී ජනතාව අත්දැක ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පුද්ගලයාගේ තරාතිරම හෝ තත්ත්වය නොසලකා නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන බවටත්, එවැනි වෙනස්කම් කිරීමේ සිරිත් අවසන් කරන බවටත් ආණ්ඩුව පොරොන්දු වී ඇති බවටත් ඇමැති ජයතිස්ස කියාසිටියේය.

මෙය ආණ්ඩුවට ඡන්දය දුන් පිරිසගේ පමණක් නොව, ඡන්දය නුදුන් පිරිසගේද අපේක්ෂාව වූ බව ඔහු අවධාරණය කළේය.

පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ලබාදුන් ජනාධිපති සමාව මෙන් ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස කෙරෙන ඉල්ලීම් පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ, එම භික්ෂුවට හිමිවූ සිරදඬුවම අධිකරණය විසින් පනවන ලද්දක් බවයි.

අධිකරණ තීන්දු සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට පුද්ගලයන්ට අයිතියක් ඇති බවත්, අදාළ නීතිමය ක්‍රියාමාර්ග මේ වන විටත් අවසන් වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, යම් පුද්ගලයකුගේ නිශ්චිත අනන්‍යතාවය හෝ සමාජ තත්ත්වය පදනම් කරගෙන විශේෂ සැලකිලි දැක්විය නොහැකි බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

තනි පුද්ගලයෙකුගේ වාසිය උදෙසා රජය නීතිය වෙනස් කිරීම හෝ සකස් කිරීම මහජනතාව අපේක්ෂා නොකරන බවත්, සියලු තීරණ ස්ථාපිත නීතිමය පටිපාටියට අනුකූලව ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ අතර, ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා ඔක්තෝබර් 10 වැනි දින මහනුවර ශ්‍රී දළදා මාළිගාව අසලින් ආරම්භ වූ ‘චීවරයට සාධාරණය – නිදහස් පාගමන’ විරෝධතා පාගමනින් අනතුරුව බෞද්ධ භික්ෂූහු තවදුරටත් විරෝධතාවල නිරත වෙති.

විරෝධතාකරුවෝ ඔක්තෝබර් 15 වැනි දින කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, රජයෙන් ස්ථිර පිළිතුරක් ඉල්ලමින් රාත්‍රිය පුරා එතැන රැඳීසිටියහ.

කෙසේවෙතත්, අදාළ ස්ථානයේ විරෝධතා පැවැත්වීම තහනම් කරමින් නිකුත් වූ අධිකරණ නියෝගයකින් පසුව, භික්ෂූන් වහන්සේලා තාවකාලික කූඩාරම් ඉවත් කර අද (16) බුද්ධශාසන අමාත්‍යාංශය වෙත පැමිණියහ.

අමාත්‍යාංශය විසින් සාකච්ඡා සඳහා අවස්ථාවක් ලබාදුන් අතර, විරෝධතාවයේ නිරත භික්ෂූන්ගේ නියෝජිතයෝ සිව්දෙනෙක් එම සාකච්ඡාවට එක්වූහ.

ඥානසාර භික්ෂුව නිදහස් කරන තෙක් තමන් විහාරමහාදේවි උද්‍යානයේ රැඳීසිටින බව බුද්ධශාසන අමාත්‍යාංශයේදී සාකච්ඡාවලට එක්වූ භික්ෂූන් ප්‍රකාශ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: