hit counter

2026 ඔක්‍තෝබර් මස 22 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07



 වත්මන් පාලන බලය ජාතික ජන බලවේගය සතු වුවද, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය තවමත් සම්පූර්ණයෙන්ම තමන්ගේ ප්‍රතිපත්තිවලට අනුගත වී නොමැති බවත්, රාජ්‍ය සේවයේ ඇතැම් දෙපාර්තමේන්තු තවමත් පැරණි ක්‍රමවේද ඔස්සේ අකාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා අවධාරණය කළේය.

රාජ්‍ය සේවා ඉංජිනේරු සංගමයේ වාර්ෂික හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

තමන් කිසිවිටෙක මෙය ‘අපේ රජය’ ලෙස සම්පූර්ණයෙන් අර්ථ නොදක්වන බවත්, මෙය හුදෙක් ‘අපේ ආණ්ඩුව’ පමණක් බවත් පැහැදිලි කළ අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ මුල්බැසගත් රාජ්‍ය යාන්ත්‍රණයේ දුර්වලතා සහ අක්‍රමිකතා තවමත් එලෙසම පවතින බැවින්, සමස්ත රාජ්‍ය තන්ත්‍රය නිවැරදි මාවතකට ගැනීමට තවත් සැලකිය යුතු කාලයක් ගතවනු ඇති බව පෙන්වා දුන්නේය. 

දූෂණයට හා වංචාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඊට අකමැති පිරිස් පද්ධතිය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන බවද හෙතෙම කියා සිටියේය.

රටේ සංවර්ධනය වෙනුවෙන් අයවැය මඟින් වෙන් කරනු ලබන ප්‍රතිපාදන නිසි පරිදි ජනතාව වෙනුවෙන් ඵලදායීව යෙදවීමට රාජ්‍ය යාන්ත්‍රණය අසමත්ව සිටීම තමන් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය බව ලාල් කාන්ත මහතා අනාවරණය කළේය.

“අයවැයෙන් මුදල් වෙන් කළාට අපේ බොහෝ දෙපාර්තමේන්තු සහ ආයතනවලට වැඩ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ වෙන් කරන මුදලින් සියයට 60ක් හෝ 70ක් විතරයි. සමහර ආයතනවලට මුදල් වෙන් කළාම ‘කරගන්න බෑ, මුදල් එපා’ කියලත් කියනවා. ඒ මුදල් සමාජගත වී ආර්ථිකය ප්‍රසාරණය විය යුතු වුවත්, ප්‍රතිපාදන වෙන් කරලත් ඒවා සංවර්ධනයට යොදවාගන්න බැරි තරමට රාජ්‍යය දුර්වල වෙලා, එක්තරා ආකාරයකට අසමත් වෙලා,” යැයි අමාත්‍යවරයා විවෘතව පැවසීය.

ආර්ථික අර්බුදය හමුවේ වෘත්තිකයන් විශාල වශයෙන් රට හැර යද්දීත්, පවතින ගැටලු මධ්‍යයේ රාජ්‍ය සේවයේ රැඳී සිටිමින් සේවය කරන ඉංජිනේරුවන්ගේ කාර්යභාරය අගය කළ අමාත්‍යවරයා, වෘත්තිකයන්ගෙන් 60%කට ආසන්න පිරිසක් විදේශගතවීම තුළ රාජ්‍ය සේවයේ බරපතළ මානව සම්පත් හිඟයක් මතුව ඇති බව පෙන්වා දුන්නේය. 

ආයතනික හා යටිතල පහසුකම්වල පවතින අඩුපාඩු මධ්‍යයේ වුවද, අයවැයෙන් වෙන් කෙරෙන මුදල් උපරිම ඵලදායිතාවකින් යුතුව යොදවා සංවර්ධන කටයුතු කඩිනමින් අවසන් කිරීමට පෙරමුණ ගන්නා ලෙස ඔහු ඉංජිනේරුවන්ගෙන් ඉල්ලා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: