2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්යයට ‘ලොකු හාමුදුරුවෝ’ වුණු, අභාවප්රාප්ත රහල් බුලත්සිංහලයන් ගැන සද්ධාමංගල සූරියබණ්ඩාර ලියයි,,,
උපුටාගැනීමයි ;
”මගේ” ලොකු හාමුදුරුවෝ ගැන..
ලංකාවේ භික්ෂු සමාජයේ ඇතැම් හැසිරීම්, බුදු දහමට ලබා දී ඇති වැරදි අර්ථකථන සහ අනවශ්ය පුදපූජා සම්බන්ධයෙන් මට දීර්ඝ කාලයක සිටම තිබුණේ දැඩි විවේචනයක්.
ඇත්තටම අප බුදු දහම ලෙස විශ්වාස කරන්නේ සැබෑ නිර්මල බුදු දහමමද, නැතිනම් පසුකාලීනව වෙනත් ආගම්වලින් පවා විවිධ ඇදහිලි හා පුදපූජා එක් කරගනිමින් නිර්මාණය කරගත් විකෘති දහමක්ද යන්න ගැන මට බොහෝ ගැටලුළු තිබුනා. එසේම විවිධ කණ්ඩායම් වල දේශපාළන හා වාණිජ අවශ්යතා වෙනුවෙන් භික්ෂූන් හා බුදු දහම ඉතා “නරක” ලෙස පාවිච්චි කිරීම ගැන මට තිබුනේ දැඩි කණගාටුවක්.
නිර්මාණ කරුවකු ලෙස මගේ නිර්මාණ හරහා මේ පිළිබඳව සාකච්ඡා කරන්න මට වුවමනාවක් තිබුණත්, මෙවැනි අතිශය සංවේදී මාතෘකාවකට අත ගැසීම දැලි පිහියෙන් කිරි කනවා වැනි අවදානම් කාර්යයක් බව මා දැනගෙන සිටියා. එහෙත් නිර්මාණකරුවකු ලෙස මට මේ පිළිබඳව නිහඬව සිටින්නට හැකියාවක් තිබුණේ නැහැ.
ඒ නිසා විවේචන වලට නොයා, මා නිවැරදි යැයි විශ්වාස කරන බුදු දහම දේශනා කරන, බෞද්ධ භික්ෂුවකගේ සැබෑ වගකීම කුමක්දැයි සමාජයට පෙන්වා දෙන භික්ෂු චරිතයක් ටෙලිනාට්යයක් තුළින් නිරූපණය කරන්නට මම තීරණය කළා. ඒ අනුවයි ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්යයට ‘ලොකු හාමුදුරුවන්ගේ’ චරිතය එකතු වුණේ.
ලොකු හාමුදුරුවන්ගේ චරිතය සඳහා මුලින්ම අප සලකා බැලුවේ මෙරට සිටින විශිෂ්ට රංගධරයකු වන ලූෂන් බුලත්සිංහල මහතායි. එහෙත් හිස මුඩු කිරීම සම්බන්ධ ගැටලුවක් සහ දීර්ඝ කාලයක් ටෙලිනාට්යය වෙනුවෙන් කාලය වෙන් කිරීමට ඔහුට තිබූ අපහසුතාවක් නිසා එතුමා සම්බන්ධ කරගැනීමට අපට හැකි වුණේ නැහැ.
ඉන්පසුවත් රංගන ශිල්පීන් කිහිපදෙනෙකු පිළිබඳව අප සලකා බැලුවත්, විවිධ හේතු නිසා ඔවුන්ව මේ චරිතයට සම්බන්ධ කරගැනීමට හැකි වුණේ නැහැ.
මේ අතර ප්රවීණ රංගනවේදී ගිරිරාජ් කෞශල්ය මහතා මේ චරිතයට සුදුසු බව අධ්යක්ෂ ජයප්රකාශ් සිවගුරුනාදන් මහතා යෝජනා කර ඔහු සමඟ ඒ ගැන සාකච්ඡා කර තිබුණා.
ගිරා, සාමාන්යයෙන් භික්ෂු චරිත නිරූපණය නොකරන්නට තීරණය කර තිබුණත්, සිවාගේ ඉල්ලීම ප්රතික්ෂේප කිරීමට නොහැකි වූ නිසා ඔහු ඊට එකඟ වී තිබුණා.
නමුත් ලොකු හාමුදුරුවන්ගේ චරිතයට වඩා කුකුළා මුදලාලිගේ චරිතයට ඔහු ගැළපෙන බව අපට හැඟුණු නිසා ගිරිරාජ් කෞශල්යය මහතා කුකුළා මුදලාලිගේ චරිතයට තෝරා ගත්තා.
ඒ වන විටත් ලොකු හාමුදුරුවන්ගේ චරිතයට සුදුසු රංගන ශිල්පියකු අපට හමුවී තිබුණේ නැහැ.
රූගත කිරීම් කඩිමුඩියේ සිදු වූ නිසා අවසානයේ පන්සලේ දර්ශන රූගත කිරීමට නියමිතව තිබුණේ ඊළඟ දිනයේයි. නමුත් ඒ වන විටත් මේ චරිතයට නළුවකු තෝරාගෙන තිබුණේ නැහැ. අප තෝරා ගන්නා ශිල්පියා අපට අවශ්ය වයසට ගැළපිය යුතු වුණා. ඒ වගේම ඔහු විශාල පෞරුෂයක් සහිත අයෙකු විය යුතුයි.
ඔහු හිස මුඩු කිරීමට කැමති අයෙකු හෝ තට්ට හිසක් සහිත අයෙකු විය යුතුවාක් මෙන්ම අති දක්ෂ නළුවකුද විය යුතුයි.
අවසානයේ මා කළේ මා සතුව තිබූ නළු නිළියන්ගේ ඡායාරූප සහ විස්තර ඇතුළත්, මා විසින්ම සකස් කරවා ගත් පොත පෙරළා බැලීමයි.
එහි එක් පිටුවක රහල් බුලත්සිංහල නම් රංගන ශිල්පියාගේ ඡායාරූපයක් මගේ නෙත ගැටුණා.
ඒ වන විට මගේ මතකයේ සිටියේ රහල් මීට පෙර තරමක් රළු චරිත නිරූපණය කළ රංගන ශිල්පියකු ලෙසයි. එහෙත් ඔහු ලොකු හාමුදුරුවන්ගේ චරිතයට මනාව ගැළපෙන බව මට සිතුණා. මම ඒ බව සිවාට පැවසුවා.
“රහල් හොඳයි.”
සිවාගේ ක්ෂණික පිළිතුර වුණේ එයයි.
සිවා රහල්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නා. අපේ වාසනාවට පසුදා රහල්ට වෙනත් වැඩක් තිබුණේ නැහැ.
ඒ අනුව පසුදාම රහල් ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්යයේ ලොකු හාමුදුරුවන් ලෙස සිවුර පොරවා ගත්තා.
සිවුර පොරවාගත් පසුව අපට රහල්ව පෙනුණේ සැබෑම භික්ෂුන් වහන්සේ නමක් ලෙසයි. රූගත කිරීම් නැරඹීමට පැමිණි බොහෝ දෙනා රහල්ට වැඳ නමස්කාර කරන ආකාරය අප දුටුවා. එසේ වන්දනා කිරීම වැළැක්වීමට රහල් දැරූ උත්සාහයත් අපි දැක්කා.
රහල් මේ චරිතය වෙනුවෙන් නිකම්ම සිවුරක් පොරවා ගත්තේ නැහැ. ඔහු සිවුරට වැඳ නමස්කාර කළා. රූගත කිරීම් අවසන් වූ පසු සිවුර ගලවා, පිළිවෙළට නමා, ඉතා ගෞරවයෙන් කලා අධ්යක්ෂවරයාට භාර දෙන අවස්ථාවේදීත් ඔහු සිවුරට වැඳ නමස්කාර කළා.
රහල් සැබෑ ජීවිතයේදීත් ගත කළේ එවැනිම ගෞරවනීය ජීවිතයක්. ඔහු දුරකථනයෙන් කතා කරන විට ‘හෙලෝ’ යනුවෙන් ආමන්ත්රණය කළේ නැහැ. ඒ වෙනුවට ‘ආයුබෝවන්’ කියා කතා කළා. දුරකථන සංවාදය අවසන් කළේ ‘බුදු සරණයි, දෙවි පිහිටයි’ කියමිනුයි.
ඔහු සමඟ දුරකථනයෙන් කතා කරන හැම අවස්ථාවකදීම අපට දැනුණේ මේ කතා කරන්නේ නාඩගම්කාරයෝ හි ලොකු හාමුදුරුවන්මදෝ කියන හැඟීමයි.
ලොකු හාමුදුරුවන්ගේ චරිතයෙන් පසුව තම ජීවිතයටද විශාල විනයක් හා හික්මීමක් එකතු වූ බව පසු කළෙක රහල් කියා තුබුනා.
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්යයේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය ඔහුට ලබා දීම ගැන රහල් මටත්, සිවාටත් අප්රමාණව ස්තුති කළා. ඔහු ඒ අවස්ථාව කිසිදා අමතක කළේ නැහැ. ඒ වෙනුවෙන් මට තෑග්ගක් දිය යුතු බව නිතරම කියමින් සිටි ඔහු දිනක් මට වටිනා සරමක්, ඇඳ රෙද්දක් ඇතුළු තෑගි බෝග ලබා දුන්නා. මට ඒ සරම අල්මාරියෙන් පිටතට ගන්න සෑම අවස්ථාවකම මතක් වෙන්නෙ රහල්ව.
ඔහු හැමවිටම කීවේ ලොකු හාමුදුරුවන්ගේ චරිතය නිර්මාණය වූයේ සද්ධා මංගල මහත්තයාගේ පෑනෙන් බවයි. ඔහු කතා කළේ මගේ වචන බවයි.
පසුකාලයක මගේ පුත් ඉඳුවර සූරියබණ්ඩාර නිර්මාණය කළ ” මතක වස්ත්ර – The Empty Robe ” නම් කෙටි චිත්රපටයේ භික්ෂුන් වහන්සේ නමකගේ චරිතයක් තිබුණා. ඒ සඳහා ඉදුවර රහල් බුලත්සිංහලට ආරාධනා කළා.
රහල් ඒ යෝජනාව ඉතා ආදරයෙන් පිළිගෙන, පුත්තලම සහ කිරිඳිවැල ප්රදේශවල රූගත කළ එම කෙටි චිත්රපටයට රංගනයෙන් දායක වුණේ කිසිදු මුදලක් අය නොකරයි.
“ඔබේ පුත්රයාගෙන් මම මුදල් ගන්නේ නැහැ.” ඔහු එදා කීවේ එහෙමයි.
එම කෙටි චිත්රපටය මෙරට කෙටි චිත්රපට උළෙලකදී ප්රදර්ශනය කළ අවස්ථාවේදීත් රහල් මා සමඟ පැමිණ එය නැරඹුවා. ඒ තමයි රහල් මට හමු වූ අවසන් දවස.
රහල් කියන්නේ ඉතාමත් හොඳ හදවතක් තිබූ මනුෂ්යයෙක්. ඔහු සැබෑ බෞද්ධයෙක්. ඔහුගේ හැසිරීම තුළින් මම දුටුවේ බුදු දහමට ඇති ගෞරවයත්, මනුෂ්යත්වයත්, නිහතමානී බවත් එකට එක් වූ අපූරු චරිත ස්වභාවයක්.
‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්යය පදනම් කරගෙන තවත් ව්යාපෘතියක් ආරම්භ කිරීම පිළිබඳව මමත් චේතනිත් ඊයේත් කතා කළා. එහෙත් අද වන විට අපේ ලොකු හාමුදුරුවෝ අපට අහිමි වී ගිහින්.
මම හැමදාමත් කියනවා වගේ, “ජීවත් විය යුතු මිනිස්සු අප අතරින් ඉක්මනින්ම සමුගෙන යනවා”
රහල් බුලත්සිංහල ආදරණීය කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා!”
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:12
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:08
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26