2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:20
හෝමාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ අපක්ෂපාතී ස්වාධීන විමර්ශනයක් සිදු කිරීමට රජය විසින් පොලිස්පතිවරයාට නියෝග ලබා දී ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
ඔහු ප්රකාශ කළේ පසුගිය ආණ්ඩු කටයුතු කලාක් මෙන් එවැනි සිද්ධීන් යටපත් නොකර ඒ සම්බන්ධයෙන් සාධාරණ, අපක්ෂපාතී විමර්ශනයක් පවත්වා වරදකරුවන්ට එරෙහිව අදාළ නෛතික ක්රියාමාර්ගවලට එළඹෙන බවයි.
ශ්රී ලංකා පොලීසිය වුවද කටයුතු කළ යුත්තේ රට තුළ පවත්නා වූ නිතියට යටත්ව බව අමාත්යවරයා සඳහන් කළා.
ආනන්ද විජේපාල මහතා කියා සිටියේ නීතියට පරිබාහිරව කිසිඳු පොලිස් නිලධාරියෙකුට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි.
එලෙස නීතියට පරිබාහිරව කටයුතු කළ පොලිස් නිලධාරීන් 1200කගේ පමණ වැඩ තහනම් කිරීමට පසුගිය වසර දෙක තුළ ආණ්ඩුව කටයුතු කළ බව ඔහු පවසා සිටියා.
අමාත්යවරයා ප්රකාශ කළේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කිරීම උදෙසා ආණ්ඩුව ඇප කැප වී කටයුතු කරන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආනන්ද විජේපාල මහතා
“ හෝමාගම සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට විමර්ශනයක් කරන්න ස්වාධීන විමර්ශනයක් කරන්න කියලා අපි පොලිස්පතිවරයාට නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ අනුව එම විමර්ශනය ආරම්භ වෙලා තියෙනවා. ඒ සඳහා අවශ්ය පශ්චාත් මරණ පරීක්ෂන වාර්තාව අද ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ අනුව මේ සිදුවීම සම්බන්ධයෙන් ස්වාධීන සහ විධිමත් විමර්ශනයක් කරලා ඒ විමර්ශනයේ ලබාදෙන ප්රතිඵල අනුව ඉදිරි ක්රියාමාර්ග ගන්නවා.
පනතයි මේකයි අතර කිසිඳු සම්බන්ධයක් නැහැ. මෙවැනි සිදුවීම් සිද්ධ වන වහාම අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කරලා තියෙනවා. පොලීසිය වුණත් කටයුතු කළ යුත්තේ නීතියට අනුගතව ඊට පරිබාහිරව කිසිඳු නිලධාරියෙකුට ක්රියා කරන්න හැකියාවක් නැහැ. එහි ප්රතිඵලයක් හැටියට තමා පසුගිය වසර දෙක තුළ නිලධාරීන් 1200කගේ වැඩ තහනම් වෙන්නේ.
ඒ හින්දා අපි දැඩි ලෙස නීතියට පරිබාහිරව ගන්නා තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කරන්න අපි සූදානම්. ඒ හින්දා පොලීසියටත් අත්තනෝමතිකව බලය යොදන්න හැකියාවක් නැහැ. හැබැයි යම් සිද්ධියක් වාර්තා වුණාම පසුගිය කාලේ වගේ ඒක යටගහගෙන තියන්න අපි උත්සහ කරන්නේ නැහැ. හැම සිද්ධියක්ම විමර්ශනය කරලා සාධාරණය ඉෂ්ට කරන්න අපි සූදානම්. හෝමාගම සිද්ධිය සම්බන්ධයෙනුත් අපි මහජනතාවට කියන්නේ මේ සම්බන්ධයෙන් පූර්ණ ස්වාධීන අපක්ෂපාතී විමර්ශනයක් කරන්න පොලිස්පතිවරයාට නියෝග ලබා දීලා තියෙනවා. ඒ විමර්ශනයෙන් පස්සේ අවශ්ය නීතිමය ක්රියාමාර්ග ගන්නවා.
අපේ රටේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න ඕනි. අපි දිගින් දිගටම කියලා තියෙනවා. ඉතින් ඒ යුක්තියට පටහැනිව නීතියට පටහැනිව කාටවත් ක්රියාමාර්ග ගන්න බැහැ.”
හෝමාගම පොලිස් ස්ථානයේ තරුණයෙකු මිය යෑමේ සිද්ධිය
හෝමාගම පොලිස් වසමේ පිටිපන හන්දියේදී පසුගිය 25 වෙනිදා හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අයිස් මත්ද්රව්ය සමඟ 29 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.
ඔහු කිරිවත්තුඩුව, මූනමලේවත්ත ප්රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ සැකකරු හෝමාගම පොලිස් ස්ථානයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇති වූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබූ බව පොලිසිය ප්රකාශ කළා.
එහිදී ඔහු මියගොස් ඇති බව හෝමාගම පොලිස් ස්ථානය මගින් වාර්තා කර ඇති බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂාවක් සිදුකර තිබෙනවා.
එමෙන්ම හෝමාගම මූලික රෝහලේදී මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණයක් ද සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරනවා.
සැකකරු මියයාම සම්බන්ධයෙන් හෝමාගම කොට්ඨාසය භාර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ හෝමාගම දිස්ත්රික් (II) සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ද විමර්ශන සිදුකරනු ලබනවා.
මේ අතර, මෙම සිද්ධියට අදාළව හෝමාගම පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සහ දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ සහ උපසේවා රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය 26 වනදා සිට අත්හිටුවීමට හෝමාගම දිස්ත්රික් (I) පොලිස් අධිකාරිවරයා කටයුතු කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ අංශ මගින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:22
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:14
28-10-26
28-10-26
28-10-26
28-10-26
27-10-26
27-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26