hit counter

2026 නොවැම්‍බර් මස 16 වන සඳුදා

2026 නොවැම්‍බර් 16, ප.ව. 12:28



වත්මන් ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරුන් සිව්දෙනෙකු දූෂණ චෝදනාවලට ලක්ව ඇති බව පවසමින් ඊට අදාළ නාමලේඛනයක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

එහිදී අදහස් දක්වමින් අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලද්දේ අමාත්‍යවරුන් වන බිමල් රත්නායක, කේ.ඩී. ලාල්කාන්ත, වසන්ත සමරසිංහ සහ කුමාර ජයකොඩි යන අයට එරෙහිව මෙම දූෂණ චෝදනා එල්ල වී ඇති බවයි. 

කෙසේ වෙතත්, එම අවස්ථාවේදී කථානායකවරයා මූලාසනයේ අසුන්ගෙන සිටි බැවින්, සභා සම්ප්‍රදායට ගරු කරමින් ඒ මොහොතේ ඔහු සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රකාශ නොකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබේ.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහ මැතිවරණ පොරොන්දු පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කළ මන්ත්‍රීවරයා, ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ නව විශ්වවිද්‍යාල 50ක් ඉදිකිරීම සඳහා මෙන්ම අලුතින් වැව් 450ක් නිර්මාණය කිරීම වෙනුවෙන් මෙවර අයවැයෙන් එක් ශත පහක හෝ මුදලක් වෙන් කර නොමැති බව පෙන්වා දුන්නේය.

මැතිවරණ සමයේ ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්ති ප්‍රකාශනය මුළුමනින්ම පසෙකලා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට හෙතෙම චෝදනා කළේය.

මේ අතර, මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් රේගු කන්ටේනර් සිද්ධිය සම්බන්ධයෙන් අජිත් පී. පෙරේරා මහතා සභාවේදී අදහස් දැක්වීමත් සමඟ, අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට දැඩි විරෝධය පළකරමින් ප්‍රතිචෝදනා එල්ල කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය තුළ දැඩි උණුසුම් වාතාවරණයක් ද හටගෙන තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: