hit counter

2026 නොවැම්‍බර් මස 25 වන බදාදා

2026 නොවැම්‍බර් 26, පෙ.ව. 12:15



රජය බදු අයකර ගනිමින් රැස්කර ගන්නා මුදල් නැවතත් ජනතාවට සහන ලබාදීම සඳහා යොදවන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

රජය ජනතාව වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවට විවිධ පාර්ශ්ව චෝදනා කළද, ඉදිරි අයවැය තුළින් ජනතාවගේ නිවාස, යටිතල පහසුකම්, කෘෂිකර්මාන්තය සහ ඉන්ධන සහනාධාර වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඒ අනුව මේ වසරේ නිවාස ඉදිකිරීම සඳහා එක් නිවසකට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදුන් වැඩසටහන යටතේ ලබන වසරේදී එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාදීමට සැලසුම් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.

රටේ ආර්ථිකය ක්‍රමයෙන් ශක්තිමත් වන විට එහි ප්‍රතිලාභ ජනතාව වෙත ලබාදීම රජයේ අරමුණ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම රාජ්‍ය සේවක වැටුප් සහ දීමනා ඉහළ නැංවීම සඳහා මෙවර අයවැයෙන් සමස්ත වියදම්වලින් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් වෙන් කර ඇති බවත්, රාජ්‍ය සේවකයන් ලක්ෂ 12කට පමණක් නොව රාජ්‍ය සේවයෙන් පිටත සිටින විශාල ජනතාවකටද රජයට වගකීමක් ඇති බවත් ඔහු පවසයි.

රාජ්‍ය සේවක වැටුප් හා දීමනා සඳහා පමණක් සියලු මුදල් වෙන් කළ නොහැකි බව පෙන්වා දුන් ටී.බී. සරත්, රජයේ සේවයේ නොමැතිව කුලී වැඩ සහ වෙනත් රැකියාවල නිරත වෙමින් ජීවිකාව ගෙනයන ජනතාව වෙනුවෙන්ද නිවාස හා අනෙකුත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කරයි.

මේ අතර ඉන්ධන මිල සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්ධන සඳහා අයකරන බදු පිළිබඳව විපක්ෂය විවේචන එල්ල කළද, රජය බදු වශයෙන් එකතු කරන මුදලට අමතරව ඉන්ධන මිල පාලනය කරමින් ජනතාවට සහන සැලසීම සඳහාද විශාල මුදලක් වැය කරන බවයි.

බදු අඩු කිරීමෙන් පමණක් ජනතාවට සහන සැලසීම වෙනුවට බදු මගින් රැස්කර ගන්නා මුදල් නැවතත් ඉන්ධන මිල සහ අනෙකුත් සහන සඳහා යොදවමින් ජනතාවට සහනයක් ලබාදීමට රජය කටයුතු කරන බවද ඔහු පෙන්වා දෙයි.

රජයේ ආර්ථික හා සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳව විපක්ෂය නිසි අවබෝධයකින් තොරව විවේචන එල්ල කරන බවටද චෝදනා කළ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත්, බදු ආදායම රැස් කිරීම පමණක් නොව එම මුදල් ජනතාවගේ සුබසාධනය සහ රටේ සංවර්ධනය වෙනුවෙන් නැවත යෙදවීමද රජයේ ප්‍රමුඛ වගකීමක් බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: