hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 26, පෙ.ව. 12:04



පොල්ගොල්ල ජලාශය හෙට (27) මධ්‍යම රාත්‍රියේ සිට හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

ඒ වසර දෙකකට වරක් සිදුකෙරෙන නඩත්තු කටයුත්ත හේතුවෙන් මෙලෙස පොල්ගොල්ල ජලාශය හෙට මධ්‍යම රාත්‍රියේ සිට හිස් කිරීමට සැලසුම් කර තිබෙන බවයි පැවසෙන්නේ.

මේ හේතුවෙන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට දින දෙකක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව මහවැලි අධිකාරිය පවසනවා.

වියළි කාලගුණික තත්ත්වයක් පැවතීමත් රජරට කෘෂිකාර්මික කටයුතු මෙම දිනවල අවසන්ව තිබීමත් හේතුවෙන් ජලාශයේ නඩත්තු කටයුතු මෙම දිනවලදී සිදුකිරීමට තීරණය කළ බව මහවැලි අධිකාරිය සඳහන් කරනවා.

ඒ අනුව ජලාශයේ රැස්ව තිබෙන ජලය වික්ටෝරියා ජලාශයට මුදා හැරීමට නියමිතයි.

ජලාශය හිස්වීමත් සමඟ ක්‍රීඩා කිරීමට හෝ මසුන් ඇල්ලීමට මහවැලි ගඟට බැසීම අවදානම් බැවින් එලෙස ක්‍රියාකිරීමෙන් වළකින ලෙස මහවැලි අධිකාරිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීමක්ද කරනවා.

පොල්ගොල්ල ජලාශය හිස් කිරීමත් සමඟ විසල් මහනුවර හා පොල්ගොල්ල ජල පවිත්‍රාගාරවලට 28 වැනිදා සහ 29 වැනිදා යන දෙදින තුළ ජලය ලබා ගැනීමේ හැකියාවක් නොපවතින බැවින් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව සෙනසුරාදා අලුයම 1 සිට සැප්තැම්බර් 30 වනදා පස්වරු 6 දක්වා පැය 65ක ජල කප්පාදුවක් සිදුකෙරෙන බවයි පැවසෙන්නේ.

මහනුවර නගර සභා බලප්‍රදේශයට, හාස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර සහ අකුරණ ජල සම්පාදන ක්‍රමවලට අයත් ප්‍රදේශවලට, කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රජවැල්ල, සිරිමල්වත්ත, අම්පිටිය, අමුණුගම, හන්තාන සහ වලල යන ප්‍රදේශ හා විසල් මහනුවර ජල පවිත්‍රාගාරයේ ජලය බෙදාහරින මාවතගම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: