hit counter

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 26, පෙ.ව. 12:32



ශ්‍රී ලංකා දුත පිරිසක් වොෂින්ටන් ඩීසීහි (Washington, D.C) එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී පසුගිය අප්‍රේල් 22 වන දින, එහි තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා හමු වුණා.

ඒ අනුව අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් රජය විසින් කරනු ලබන ප්‍රකාශය ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍ය වෙත නිකුත් කළා.  

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අතීතයේදී මුහුණ දුන් අභියෝග සහ අනාගතයේ මතු විය හැකි අභියෝග ජය ගැනීමට මෙන්ම ආර්ථිකය යළි පූර්ණ ලෙස යථා තත්ත්වයට පත් කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර පිළිබඳව එහිදී නියෝජිත පිරිස තානාපති ග්‍රියර් මහතා දැනුම්වත් කර තිබුණු බවයි.

වෙළෙඳ හිඟය අඩු කිරීමටද, තීරුබදු සහ තීරුබදු නොවන බාධක අවම කිරීම සඳහාද එක්සත් ජනපද රජය සමඟින් කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති යුහුසුළු සහ ධනාත්මක කැපවීම පිළිබඳව මෙහිදී ශ්‍රී ලංකා දූත පිරිස පෙන්වා දී තිබෙනවා.

එහිදී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුමකට එළැඹීමේ අරමුණින් සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයේම එකඟතාව පළ කෙරුණු අතර හැකි ඉක්මණින් කෙටි කාලයක් තුළ අදාළ ගිවිසුමට එළැඹීමටද දෙපාර්ශ්වයම කැමැත්ත පළ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: