hit counter

2025 ජූලි මස 04 වන සිකුරාදා

2025 ජූලි 04, පෙ.ව. 12:24



දරුවන්ගේ සෞඛ්‍යයට තර්ජන එල්ල කරන වෙළඳපොළේ ඇති ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත.

ඊයේ (03) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ඉදිරි මාස දෙකක කාලය ඇතුළත මෙම කමිටුව ඉදිරිපත් කරන නිර්දේශවලට අනුව, දරුවන්ගේ සෞඛ්‍යයට හානිකර විය හැකි එවැනි ප්ලාස්ටික් නිෂ්පාදන වෙළඳපොළට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගත හැකි උපරිම තීන්දු ගන්නා බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේ පැවසීය:

“වෙළඳපොළේ ඇති බොහෝ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන, විශේෂයෙන්ම උණු වතුර භාවිතයට සුදුසු නැති ප්ලාස්ටික් බෝතල්වලටත් බොහෝ දෙනා වතුර භාවිතා කරනවා. ලෝකයේ බොහෝ රටවල් මෙවැනි භාණ්ඩ නිෂ්පාදනයේදී ඒවායේ අඩංගු පිළිකාකාරක රසායනික ද්‍රව්‍ය පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබෙනවා. අපගේ වෙළඳපොළේ සිදුකළ පරීක්ෂණවලදී මෙවැනි නිෂ්පාදනවල බරපතල අවදානම් තත්ත්වයන් හඳුනාගෙන තිබෙනවා.

ඒ නිසා අපි තීරණය කළා ඉදිරි මාස දෙක තුළ මේ පිළිබඳව දැඩි තීන්දු ගන්න. ඒ සඳහා ආනයනකරුවන්, නිෂ්පාදකයින් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අදහස් ලබාගන්නවා. විද්වතුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කරනවා, එම කමිටුවට සියලුම පාර්ශ්වයන්ට තම අදහස් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙනවා. මාස දෙකකට පසු එම කමිටුවේ වාර්තාව ලැබුණු පසු, දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: