hit counter

2025 ජූලි මස 21 වන සඳුදා

2025 ජූලි 21, පෙ.ව. 12:07



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා නොකරන්නේ නම් දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට සිදුවන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශ කරයි.

ස්ටාලින් මහතා පෙන්වා දෙන්නේ වත්මන් රජය ක්‍රියාත්මක කිරීමට යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වසර කිහිපයකට පෙර ආචාර්ය උපාලි සේදර විසින් නිර්දේශ කරන ලද එකක් බවත්, කිසිදු පාර්ශ්වයක අදහස් විමසීමකින් තොරව එය ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය පිළිගත නොහැකි බවත්ය.

මෙම ප්‍රතිසංස්කරණ ලබන වසරේදී 1 ශ්‍රේණියේ සිට 6 ශ්‍රේණිය දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණද, ඒ සඳහා ගුරු පුහුණු වැඩසටහන් හෝ ජාතික අධ්‍යාපන ආයතනය දැනුවත් කිරීමක් සිදුකර නොමැති බවද ස්ටාලින් මහතා සඳහන් කළේය.

ඔහු වැඩි දුරටත් අවධාරණය කළේ, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් විභාග ගැටලු, ළමුන් ඇතුළත් කිරීමේ ප්‍රශ්න, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ තරගකාරීත්වය සහ කුසලතා සංවර්ධනය වැනි ප්‍රධාන ගැටලු පහකට විසඳුම් ලබාදිය යුතු බවයි. මීට පෙර කිසිදු රජයක් මෙම ගැටලුවලට විසඳුම් ලබාදී නොමැති බව පෙන්වා දුන් ස්ටාලින් මහතා, නව රජය යෝජිත ප්‍රතිසංස්කරණ මගින් මෙම ප්‍රශ්නවලට අනිවාර්යයෙන්ම පිළිතුරු සැපයිය යුතු බවද කියා සිටියේය.

එසේ නොවුවහොත් විශ්වවිද්‍යාල, පාසල්, ගුරු-දෙමව්පියන් සහ වෘත්තීය සමිති ඇතුළු සියලු පාර්ශ්ව එක්ව දැවැන්ත විරෝධතා දියත් කිරීමට සිදුවන බවද ඔහු අනතුරු ඇඟවීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: