hit counter

2025 අගෝස්‍තු මස 23 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 23, පෙ.ව. 12:22



ජාතික විගණන කාර්යාල කටයුතුවලට කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යොදා ගෙන අවම සේවක ප්‍රමාණයකින් කාර්යක්ෂමතාව වැඩිකිරීමට රජයේ මුදල් කාරක සභාවේ අවධානය යොමු කරයි.

එමෙන් ම, එම කාර්යාලය යටතේ පළාත් මට්ටමින් කාර්යාල පද්ධතියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද එහිදී සලකා බැලූ අතර ජාතික විගණන කාර්යාලය සඳහා වූ අය-වැය ඇස්තමේන්තුවට මුදල් කාරක සභාවේ අනුමැතිය ද හිමි විය.

ජාතික විගණන කාර්යාලයේ 2026 වසර සඳහා වූ අය-වැය ඇස්තමේන්තුව පසුගියදා (අගෝ. 19) රැස්වූ මුදල් කාරක සභාවේදී සලකා බැලීමෙන් අනතුරුව කාරක සභාවේ යෝජනා සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය හිමිවිය. 2

018 අංක 19 දරන විගණන පනතේ 34 වගන්තිය ප්‍රකාරව මෙම සලකා බැලීම සිදුවිය.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂ ද සිල්වා විදේශගත වීම හේතුවෙන් එම කාරක සභාවේ තාවකාලික සභාපති ලෙස පත් කරගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ රවුෆ් හකීම්ගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කෙරිණි.

වැඩබලන විගණකාධිපති ජී.එච්.කේ. ධර්මපාල ඇතුළු ජාතික විගණන කාර්යාල නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද අය-වැය දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මෙහිදී ජාතික විගණන කාර්යාලයේ පවතින ගැටලු පිළිබඳවද අවධානය යොමු විය.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විදේශ ව්‍යාපෘති හා රාජ්‍ය ව්‍යාපාර ඇතුළු ආයතන 2,000කට ආසන්න ප්‍රමාණයක් විගණනය කිරීම සිදු කරන විගණන කාර්යාලයේ සේවක හිඟය, නවීන තාක්ෂණය ඇතුළත් කිරීම ඇතුළු කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා විය.

වරලත් ගණකාධිකාරි මට්ටමේ උසස් නිලධාරීන් 35ක් පමණක් ජාතික විගණන කාර්යාලයේ දැනට සේවය කරන බවත් වත්මන් වැටුප් තල හමුවේ ගණකාධිකරණ උසස් විභාග සමත් නිලධාරීන් රඳවා ගැනීමේ ගැටලුවක් ඇති බවත් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මෙහිදී සඳහන් කළහ.

මුදල් කාරක සභාවේ සාමාජිකයන් වන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන රවී කරුණානායක, හර්ෂණ රාජකරුණා, අජිත් අගලකඩ, කෞශල්‍යා ආරියරත්න, නිමල් පලිහේන, චිත්‍රාල් ප්‍රනාන්දු, විජේසිරි බස්නායක, තිළිණ සමරකෝන්, චම්පික හෙට්ටිආරච්චි සහ ලක්මාලි හේමචන්ද්‍ර මෙම කාරක සභා රැස්වීමට සහභාගී වූහ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: